කජු බීජ උද්‍යානය සඳහා අක්කර 212 ක ඉඩමක් කජු සංස්ථාවට

    February, 9, 2021

    එළුවන්කුළම කෘෂිකර්ම පර්යේෂණ ඒකකය පවත්වාගෙන ගොස් ඇති වනාතවිල්ලුව රාල්මඩුව ග්‍රාම නිලධාරි වසමේ පිහිටි හෙක්ටයාර 86.093ක ඉඩම් කොටසක් (අක්කර 212 රූඩ් 02 පර්චස් 23.95) සංවර්ධනය කර භාවිතා කිරීම සඳහා 1998 ජූලි මාසයේදී ශ්‍රී ලංකා කජු සංස්ථාව වෙත භාර දී ඇත. ඒ අනුව, මේ වන විට කජු සංස්ථාව විසින් එකී ඉඩම කජු වගාව සඳහා භාවිත කරමින් සිටී.
    ශ්‍රී ලංකා කජු සංස්ථාව විසින් වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සමඟ එක්ව එම ඉඩමේ ශාක අභිජනන මධ්‍යස්ථානය මඟින් ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින කජු ප්‍රභේදයන් ඒකරාශි කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ආර්ථික හා සාමාජීය වශයෙන් ඉහළ වැදගත්කමක් ඇති එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සඳහා එකී ඉඩම අවුරුදු 50 ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ශ්‍රී ලංකා කජු සංස්ථාව වෙත ලබා දීම පිණිස ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.