2027 ප්‍රාග්ධන වියදම් 24.7% කින් ඉහළ යද්දී රජයේ සමස්ත වියදම රු. ට්‍රිලියන 4.99 දක්වා ඉහළට

    October, 19, 2026

    2027 විසර්ජන පනත් කෙටුම්පත මේ වන විට ඉදිරිපත් කර තිබේ. ඊට අනුව ශ්‍රී ලංකාවේ 2027 වසර සඳහා වන මුළු රාජ්‍ය වියදම 2026 වසරේ පැවති රුපියල් ට්‍රිලියන 4.434 සිට 12.6% කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 4.993 දක්වා ප්‍රසාරණය වීමට නියමිතය. Ernst & Young (EY) ශ්‍රී ලංකා ආයතනය විසින් ප්‍රකාශිත 2027 විසර්ජන පනත් කෙටුම්පත් විශ්ලේෂණයට අනුව, රජයේ ඉදිරි මූල්‍ය රාමුව ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධන ආයෝජනවල සැලකිය යුතු වර්ධනයකින් සමන්විත වේ.

    විසර්ජන පනත් කෙටුම්පතේ පළමු උපලේඛනයට අනුව, ප්‍රාග්ධන වියදම් 24.7% ක සීඝ්‍ර වර්ධනයක් වාර්තා කරමින් 2026 දී පැවති රුපියල් ට්‍රිලියන 1.406 සිට 2027 දී රුපියල් ට්‍රිලියන 1.753 දක්වා ඉහළ යනු ඇත. එමෙන්ම, පුනරාවර්තන වියදම 7.0% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් ට්‍රිලියන 3.029 සිට රුපියල් ට්‍රිලියන 3.240 දක්වා වැඩි වී තිබේ.

    මෙසේ රාජ්‍ය වියදම් ප්‍රසාරණය වුවද, රජයේ මුළු ණය ගැනීමේ සීමාව රුපියල් ට්‍රිලියන 3.8 ක් ලෙස වෙනස් නොවී පවතින අතර, එය 2026 වසර සඳහා පනවා තිබූ සීමාවටම සමාන වේ.

    රාජ්‍ය අංශ අතරින් වැඩිම මුල්‍ය ප්‍රතිපාදනය ලබා ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයයි. එම අමාත්‍යාංශයේ වෙන්කිරීම් 2026 දී පැවති රුපියල් බිලියන 634.8 සිට 35% කින් ඉහළ ගොස් 2027 දී රුපියල් බිලියන 856.9 දක්වා වැඩි වී ඇත.

    කෙසේ වෙතත්, ප්‍රතිශතයක් ලෙස වඩාත්ම සීඝ්‍ර වර්ධනයක් වාර්තා කර ඇත්තේ ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශයටයි. ඒ සඳහා වන වෙන්කිරීම් රු. බිලියන 38.6 සිට රු. බිලියන 79.8ක් දක්වා 107%කින් ඉහළ ගොස් ඇත. මීට අමතරව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහා වන ප්‍රතිපාදන 63%කින් වැඩි කර ඇත. ඒ රු. බිලියන 16 සිට රු. බිලියන 26ක් දක්වා යි.

    අනෙකුත් ප්‍රධාන රාජ්‍ය අංශයන් සඳහා 2027 වසරේ වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන පහත පරිදි වේ:

    • රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන: රුපියල් බිලියන 651.0 (9% ක ඉහළ යාමක්; 2026 දී රුපියල් බිලියන 596.0).
    • සෞඛ්‍ය හා ජනමාධ්‍ය: රුපියල් බිලියන 590.5 (6% ක ඉහළ යාමක්; 2026 දී රුපියල් බිලියන 555.0).
    • ප්‍රවාහන / මහාමාර්ග / නාගරික සංවර්ධන: රුපියල් බිලියන 500.0 (12% ක ඉහළ යාමක්; 2026 දී රුපියල් බිලියන 446.0).
    • අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන: රුපියල් බිලියන 328.0 (9% ක ඉහළ යාමක්; 2026 දී රුපියල් බිලියන 301.0).

    2027 විසර්ජන පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 07 වන දින ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද අතර, අයවැය කතාව 2026 නොවැම්බර් 12 වන දින සිදුකෙරෙනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates