December, 1, 2023
ධර්මරාජ විද්‍යාලයීය ක්‍රිකට් පදනම මඟින් සංවිධානය කරනු ලබන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය දෙසැම්බර් 08 වැනිදා සිට 10 වැනිදා දක්වා මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. කණ්ඩායම් 8ක් තරඟ වදින මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් පිහිටුවන ලද ප්රමුඛ පෙලේ පාසල් වන ආනන්ද, නාලන්ද, මහින්ද, ධර්මපාල, මලියදේව, ධර්මාශෝක, රාහුල සහ සත්කාරක ධර්මරාජ විද්‍යාලය සහභාගීවීමට නියමිතය.
මෙම ප්‍රමුඛතම බෞද්ධ පාසල් 8 විසින් පිහිටුවන ලද ක්‍රිකට් කණ්ඩායම් විසින් දින 3ක් පුරා ක්‍රීඩා කරනු ලබන මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ප්රමුඛ පෙළේ ක්‍රීඩකයින් සහ පාසල්, ක්‍රීඩා සමාජ සහ රට නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ ඉහළ මට්ටමේ ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිතය. මෙම තෙදින පාසල් අට නියෝජනය කරන වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හා ආදි ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ තරඟාවලි දෙකකින් වර්ණවත් වනු ඇත. එහිදී පළමු දිනයේදී එම පාසල්වල වත්මන් ක්‍රිකට් කණ්ඩායම් අතර සය සාමාජික ක්‍රිකට් තරඟාවලිය හා අවසන් මහා තරඟය පැවැත්වෙන අතර දෙවැනි දිනයේදී පවත්වනු ලබන්නේ ආදි ක්‍රිකට් ක්‍රීඩක කණ්ඩායම්හි පන්දු ඕවර 8ක තරඟාවලියයි.
ආදි ශිෂ්‍ය තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ හා අවසන් මහතා තරඟය අවසන් දිනයේදී පවත්වමින් තරඟාවලිය ඉතා ආකර්ෂණීය ආකාරයෙන් නිම කිරීම සංවිධායකයින්ගේ අරමුණ වී ඇත. මේ වන විටත් පාසල් අටම තමන්ගේ ආදි ශිෂ්‍ය කණ්ඩායම් ලැයිස්තුව ඉදිරිපත් කර ඇති අතර ඊට ශ්‍රී ලංකා ජාතික කණ්ජායම නියෝජනය කළ සුප්‍රසිද්ධ ක්‍රීඩයින් රැසක් ඇතුළත් කොට ඇත. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන අර්ජුන රණතුංග, තිළිණ කණ්ඩම්බි, මුතුමුදලිගේ පුෂ්පකුමාර, සංජීව රණතුංග ඇතුළු ක්‍රීඩකයින් රැසක් ආනන්ද විද්‍යාලය නියෝජනය කරන අතර හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන උපුල් චන්දන මහින්ද විද්‍යාලය නියෝජනය කරමින් තරඟාවලියට සහභාගී වේ. මලියදේව විද්‍යාලය හිටපු ක්‍රීඩකයින් වන රංජිත් මධුරසිංහ, ජීවන්ත කුලතුංග ඔවුන්ගේ ආදි කණ්ඩායම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර හිටපු සුපිරි වේග පන්දු යවන්නකු මෙන්ම වත්මන් ජාතික තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මාතර රාහුල කණ්ඩායමට ඇතුළත්ව ඇත. කණ්ඩායම් අටම පාසල් හා ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩකයින් තම කණ්ඩායම් සඳහා ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපන ආයතනයන්හි නිර්මාතෘ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාට උපහාර පිණිස පවත්වනු ලබන මෙම හෙන්රි ස්ටීල් අනුස්මරණ ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භය 1999 වසරේදී සනිටුහන් කළ අතර ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක දිවංගත බන්දුල වර්ණපුරගේ පුරෝගාමීත්වය යටතේ නාලන්ද විද්‍යාලය විසින් ඊට සත්කාරකත්වය සපයන ලදී.
ධර්මරාජ විද්‍යාලයීය ක්‍රිකට් පදනම විසින් සංවිධානය කරන මෙවර තරඟාවලිය එහි 22වන තරඟාවලියයි. මෙතෙක් ක්‍රීඩා කර ඇති තරඟාවලි අතුරින් මහින්ද විද්‍යාලය විසින් වැඩි ශූරතාවයන් ප්‍රමාණයක් දිනා ගෙන ඇති අතර ඔවුන් ශූරතාවයන් 7කට හිමිකම් කියනු ලබයි. අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලය 5 වතාවක් ශූරතාවය හිමි කරගෙන ඇති අතර ආනන්ද විද්‍යාලය හා මලියදේව විද්‍යාලය අවස්ථා 3කදී එම ශූරතාවයන් හිමි කර ගැනීමට සමත්ව ඇත. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ශූරතා දෙකක්ද, ධර්මරාජ හා නාලන්ද විද්‍යාලයන් එක් ශූරතාවය බැගින්ද හිමිකරගෙන ඇත.
මෙවර 22 වැනි කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රිකට් තරඟාවලිය සඳහා පිරමිඩ් විල්මාර් (Pyramid Wilmar) (පුද්) සමාගම, නිපෝන් පේන්ට් (Nippon Paint) සහ ජේ එන් ඉන්ටීරියස් (JN Interiors) පුද්. සමාගම අනුග්‍රහය දක්වනු ලබයි.


