කලාපීය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා BYD ගෝලීය නායකත්වය ශ්‍රී ලංකාවේ සංචාරයක

    July, 14, 2026

    BYD සහ DENZA හි විකුණුම් සහ අලෙවියෙන් පසු සේවා යන අංශවල ලබා ඇති සුවිශේෂී ප්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් BYD උප සභාපති Liu Xueliang මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වුණි. එහිදී BYD සහ DENZA සන්නාමයන්හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) සමාගම වෙතින් Liu Xueliang මහතාට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

    ශ්‍රී ලංකාව පරිසර හිතකාමී නව බලශක්ති වාහන භාවිතය වෙත යොමුවීම සහ එමගින් ගෝලීය හරිත බලශක්ති ප්‍රවණතාවයට දායක වීම කෙරෙහි BYD තුළ ඇති දිගුකාලීන කැපවීම මෙම සංචාරය මගින් පෙන්නුම් කරයි.

    මෙම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් BYD උප සභාපති Liu Xueliang මහතා පැවසුවේ “දකුණු ආසියානු කලාපය තුළ BYD සමාගමේ ඉදිරි සැලසුම් දෙස බැලීමේදී ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක්. මෙරට පාරිභෝගිකයින් අපගේ සන්නාමය කෙරෙහි දක්වන උනන්දුව සහ විශ්වාසය ඇත්තෙන්ම කැපී පෙනෙනවා. ඔවුන්ගෙන් ලැබෙන මෙම ප්‍රතිචාර නිසාම මෙම වෙළෙඳපොළෙහි ඇති හැකියාවන් පිළිබඳව අප ඉතා දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.” යනුවෙනි.

    “අපගේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් BYD සහ DENZA සන්නාම කෙරෙහි තබා ඇති විශ්වාසයට අප බෙහෙවින් කෘතඥ වෙනවා. අපගේ මීළඟ ඉලක්කය වන්නේ ජාත්‍යන්තරව පිළිගත් අපගේ උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ නවීන තාක්ෂණය මෙන්ම ශක්තිමත් අලෙවියෙන් පසු සේවාවක් ද ඔවුන් වෙත අඛණ්ඩව ලබා දීමයි. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ අපගේ සන්නාමයේ අනන්‍යතාවය සාර්ථකව ප්‍රවර්ධනය කිරීමට JKCG Auto ඉටුකළ විශිෂ්ට කාර්යභාරය ද මම බෙහෙවින් අගය කරනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ඔහුගේ මෙම සංචාරය සිදුවන්නේ BYD සමාගම තවත් සාර්ථක සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇති වාතාවරණයක වීම විශේෂත්වයකි. පරිසර හිතකාමී නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සන්නාමය බවට පත්වෙමින්, BYD 2025 වසරේදී වාහන මිලියන 4.6ක් අලෙවි කිරීමෙන් වාර්තාවක් තබා ඇති අතර, 2026 වසරේදී එම ඉලක්කයද ඉක්මවා යාමට නියමිතය.

    මීට අමතරව, ජර්මනියේ මෝටර් රථ කළමනාකරණ මධ්‍යස්ථානය (CAM) මගින් නිකුත් කරන ලද 2026 Automotive INNOVATIONS වාර්තාවට අනුව ලොව වඩාත්ම නව්‍යකරණයෙන් යුත් මෝටර් රථ නිෂ්පාදන සමාගම ලෙස ද BYD ඇගයීමට ලක්ව ඇත. මෙම වාර්තාවේ වසර 21ක ඉතිහාසය තුළ චීන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ප්‍රථම ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වේ.

    දේශීය වෙළෙඳපොළ තුළ ද BYD සන්නාමය ශ්‍රී ලාංකිකයින් අතර ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. මෙරටට වාහන ආනයනය කිරීම් නැවත ආරම්භ කර මාස නවයක් ඇතුළත, ලියාපදිංචි කරන ලද සමස්ත අලුත් (brand-new) වාහනවලින් 37%කට ආසන්න ප්‍රමාණයක් සහ විදුලි වාහන (EV) ලියාපදිංචියෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් හිමිකර ගැනීමට BYD සමත්ව ඇත.

    මෙම කැපී පෙනෙන වර්ධනයත් සමඟ, පරිසර හිතකාමී, නවීන තාක්ෂණයෙන් යුත් සහ තිරසාර ප්‍රවාහන විසඳුම් කෙරෙහි පාරිභෝගිකයන් තුළ ඇති වන උනන්දුව හේතුවෙන්, ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ BYD හි වේගයෙන්ම වර්ධනය වන නැගී එන වෙළෙඳපොළක් බවට පත්ව තිබේ.

    මෙම සංචාරයේදී Liu මහතා, ශ්‍රී ලංකාව තුළ BYD සන්නාමයේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමේ සැලසුම් පිළිබඳව JKCG Auto කණ්ඩායම සමඟ සාකච්ඡා කළේය. එහිදී වාහන අලෙවිය, අලෙවියෙන් පසු සේවා කටයුතු, charge කිරීමේ පහසුකම් පුළුල් කිරීම, තාක්ෂණික දැනුම වර්ධනය කිරීම සහ මෙරට සමස්ත පරිසර හිතකාමී නව බලශක්ති වාහන පද්ධතියේ ප්‍රගතිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. මීට අමතරව, ඔහු DENZA වාහන හිමිකරුවන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

    “පරිසර හිතකාමී නව බලශක්ති ප්‍රවාහනය පිළිබඳ ගෝලීය කතිකාවත වෙනස් කිරීමට BYD සමත්ව තිබෙනවා. ඒ හා සමානව, ශ්‍රී ලංකාව ද වසරක් වැනි කෙටි කාලයක් තුළ, නව බලශක්ති වාහන වෙත වේගයෙන් යොමුවීම හරහා දේශීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීමට ඇති හැකියාව සමාගම හඳුනා ගෙන තිබෙනවා. මේ අවස්ථාවේදී Liu මහතාව පිළිගැනීමට ලැබීම අපට විශාල ගෞරවයක්. ඔහුගේ මෙම සංචාරය මගින් BYD, JKCG Auto කෙරෙහි මෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වෙනවා. නව බලශක්ති වාහන භාවිතයේ මීළඟ අදියර වෙනුවෙන් පාරිභෝගික සේවා, charge කිරීමේ පහසුකම් සහ තාක්ෂණික මෙහෙයුම් ඇතුළු අවශ්‍ය දේශීය පදනම අප එක්ව ගොඩනගමින් සිටිනවා.” යනුවෙන් John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කර සිටියේය.

    BYD සහ JKCG Auto අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවය මෙරට තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ වර්ධනය වේගවත් කිරීමට මෙන්ම සමස්ත මෝටර් රථ කර්මාන්තයේ ප්‍රගතියට ද බෙහෙවින් දායක වනු ඇත. BYD හි ගෝලීය තාක්ෂණය සහ JKCG Auto හි දේශීය වෙළෙඳපොළ ශක්තිය එක් කරමින්, ශ්‍රී ලංකාව තිරසාර සහ අනාගතයට ගැළපෙන ප්‍රවාහන ක්‍රමවේදයකට යොමු කිරීමට සමාගම් ද්විත්වයම කැපවී සිටී.