ක්‍රිකට් ලෝක ශූරයන්ට ලැබුණු මුදල මෙන්න. ලංකාවටත් ඩොලර් 180,000 ක්

    November, 20, 2023

    2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් ලෙසින් ඕස්ට්‍රේලියාව ඊයේ (19) දිනයේ දී කිරුළු පැළඳීය. ඒත් සමඟම ලෝක ශූර ඕස්ට්‍රේලියා පිල ඩොලර් මිලියන 4 ක් ඉක්මවූ තෑගි මුදලකට හිමිකම් කියනු ලැබීය.

    මෙවර ලෝක කුසලානයේ දී ජයග්‍රාහී පිලට ඩොලර් මිලියන 4 ක ත්‍යාග මුදලක් හිමිවන බව තරඟ මාලාව ආරම්භයේ දීම නිවේදනය කර තිබුණි. අනුශූරයින් වෙනුවෙන් වෙන්ව තිබුණු ත්‍යාග මුදල ඩොලර් මිලියන 2 කි.

    මීට අමතරව අවසාන පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ සෙසු රටවල් දෙකට ඩොලර් 800,000 බැගින් ත්‍යාග මුදල් වෙන් කිරීමට කටයුතු යෙදුණි.

    2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා රටවල් 10 ක් තරඟ වැදුනු අතර එහිදී අවසාන පූර්ව තරඟ වටය සදහා සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ සෙසු රටවල් 6 සඳහා එක් රටකට ඩොලර් ලක්ෂය බැගින් මුදලක් වෙන් කර තිබුණි. ඒ හැරෙන්නට මූලික වටයේ ජයගන්නා එක් තරඟයක් වෙනුවෙන් සෑම කණ්ඩායමක්ම ඩොලර් 40,000 ක් හිමිකම් කියනු ඇත.

    ඒ අනුව ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු පිල හිමිකම් කියනු ලබන සමස්ත ත්‍යාග මුදල ඩොලර් 4,280,000 ක් වේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රු. බිලියන 1.4 ක් පමණ වේ.

    2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අවසානයේ දී එක් එක් රටවල් හිමිකම් කියූ ත්‍යාග මුදල් ප්‍රමාණයන් පහතින් දැක්වේ. සියලුම අගයයන් ඇමරිකානු ඩොලර්වලිනි. මූලික වටයේ ජයගත් තරඟ සංඛ්‍යාව වරහන් තුළ දැක්වේ.

    ඔස්ට්‍රේලියාව (7) - 4,280,000
    ඉන්දියාව (9) - 2,360,000
    දකුණු අප්‍රිකාව (7) - 1,080,000
    නවසීලන්තය (5) - 1,000,000
    පකිස්ථානය (4) - 260,000
    ඇෆ්ගනිස්ථානය (4) - 260,000
    එංගලන්තය (3) - 220,000
    බංග්ලාදේශය (2) - 180,000
    ශ්‍රී ලංකාව (2) - 180,000
    නෙදර්ලන්තය (2) - 180,000