ක්‍රීඩා ක්ෂේත්‍රයේ රැකියා – everjobs රැකියා වාර්තාව

    March, 18, 2016

    ක‍්‍රීඩා ක්ෂේත්‍රයේ රැකියා හුදෙක් මළල ක‍්‍රීඩා ශූරයන්ට පමණක් සීමා වී නැත. ක‍්‍රීඩාවල නිරත නොවන වෙනත් බොහෝ දෙනෙකු සඳහා ද රැකියා අවස්ථා රැසක් මෙම ක්ෂේත්‍රයේ පිරී පවතී. විශේෂයෙන්ම, මානසික හා ශාරීරික සෞඛ්‍ය සේවා, අලෙවිකරණ හා ප‍්‍රවර්ධන කටයුතු සහ මාධ්‍ය සහාය වැනි විවිධ සේවා සැපයීම තුළින් මෙම රැකියා අවස්ථාවලින් අමිල මෙහෙයක් ක‍්‍රීඩා ක්ෂේත්‍රයට හිමි වේ.

    SLADA හි අධ්‍යක්‍ෂ සහ NISS ජාතික ක‍්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් මහතා සමග everjobs.lk විසින් සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා ශ‍්‍රී ලංකාවේ මළල ක‍්‍රීඩාවල නිරත නොවන අය සඳහා වඩාත් ජනප‍්‍රිය රුකියා අවස්ථා කිහිපයක් කෙටියෙන් සඳහන් කළ ඒ මහතා මෙම කර්මාන්තය තුළ කාන්තා නියෝජනය ඉහළ යමින් පවතින බවද අවධාරණය කළේය.

    "පාසල් මට්ටමේ සිට වෘත්තීය හා ජාතික මට්ටමේ ක‍්‍රීඩා තල සියල්ලෙහිම පුහුණුකරුවන් සඳහා රැකියා අවස්ථා රැසක් තිබෙනවා. මේ සෑම මට්ටමක් සඳහාම එකිනෙකට වෙනස් වගකීම් මාලාවක් දැරීමට සිදු වන අතර විවිධාකාර අධ්‍යාපනික පසුබිම්ද අපේක්‍ෂා කරනවා. ජාතික ක‍්‍රීඩා විද්‍යා ආයතනය ආශ‍්‍රිතව අප ක‍්‍රීඩා පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් පවත්වනවා. එහි අරමුණ වන්නේ ක‍්‍රීඩා ක්ෂේත්‍රයේ රැකියාවල නියැළීමේදී අවශ්‍ය නිපුණතා, කුසලතා සහ සුදුසුකම් සිසුන්ට ලබා දීමයි. මෙම පාඨමාලාව මේ වන විට ඉතාම සාර්ථකව දශක තුනක් පමණ තිස්සේ පැවැත්වෙමින් තිබෙනවා. මෙය සාර්ථකව සම්පූර්ණ කරන පිරිස් මෙරට මෙන්ම විදේශ රටවලද ක‍්‍රීඩා නිලධාරීන්, පුහුණු උපදේශකයන් ඇතුළු තනතුරු රැසක් දරමින් සිටිනවා".

    එවර්ජොබ්ස් රැකියා වාර්තාව මගින් පෙනී යන පරිදි ක‍්‍රීඩා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මහජන සබඳතා මෙන්ම වෘත්තීය මට්ටමේ ක‍්‍රීඩා සංවිධාන වැනි සන්දර්භ රැසක ඉතා පුළුල් ලෙස විහිදී තිබේ. විශේෂයෙන්ම, ක‍්‍රීඩා ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ රැකියාවල නියැළීමට කැමැත්ත දක්වන අය සඳහා විවෘත ඉතා හොඳ අවස්ථාවක් ලෙස ක‍්‍රීඩා ජනමාධ්‍යවේදය දැක්විය හැක. අන්තර්ජාල මාධ්‍ය, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වැනි අංශ රැසක රැකියා අවස්ථා රැසක් මෙම ක්‍ෂේත‍්‍රයට අයත්ය.

    මීට අමතරව, ක‍්‍රීඩා වෛද්‍ය සහ ක‍්‍රීඩා මනෝවිද්‍යා වැනි ක්ෂේත්‍ර ආශ‍්‍රිත රැකියාද වර්ධනය වෙමින් පවතී. ක‍්‍රීඩා වෛද්‍ය උසස් පාඨමාලා සාර්ථකව නිම කරන ලද ක‍්‍රීඩා වෛද්‍යවරුන් සහ අස්ථි චිකිත්සකවරුන් එවැනි වෘත්තිකයින්ට නිදසුනකි. ක‍්‍රීඩකයන්ගේ හදිසි හා දීර්ඝ කාලීන ආබාධිත තත්ත්වයන්ට ප‍්‍රතිකාර කිරීමෙහි හා ඔවුන්ගේ සමස්ථ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගැනීමට උපදෙස් ලබා දෙනු ලබන අනෙකුත් ක‍්‍රීඩා සෞඛ්‍ය වෘත්තිකයන්ද මීට ඇතුළත්ය. ක‍්‍රීඩා මනෝවිද්‍යාව මගින් මනෝවිද්‍යාව, විද්‍යාව සහ ක‍්‍රීඩා වැනි ක්ෂේත්‍ර රැසක් එක්තැන් කරනු ලබයි. මෙම ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තියන්ගේ කාර්යභාරය වන්නේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීමයි.

    ක‍්‍රීඩා ක්ෂේත්‍රය තුළ කාන්තා වෘත්තිකයන්ගේ ඉහළ යාම පිළිබඳව අප කළ විමසීමට ප‍්‍රතිචාර දක්වමින් ඒ මහතා පළ කරන ලද්දේ මෙබඳු අදහසකි: "දැනටමත් ක‍්‍රීඩා ක්ෂේත්‍රය තුළ වැඩි රැකියා අවස්ථා තිබෙනවා. කලකට ඉහත එවැනි බොහෝ රැකියා වෙන්ව තිබුණේ පිරිමි පාර්ශ්වය සඳහා පමණක් වුවත්, මේ තත්ත්වය අද වන විට විශාල ලෙස වෙනස් වී තිබෙනවා. විශේෂයෙන්ම, සුසන්තිකා ජයසිංහ ක‍්‍රීඩිකාව විසින් ජාත්‍යන්තර ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ සිට මේ තත්ත්වයෙහි පැහැදිලි වෙනසක් දැකිය හැකියි. 2000 වසරින් පසුව, ක‍්‍රීඩා ක්ෂේත්‍රයේ කාන්තාවන් සඳහා ඇති රැකියා අවස්ථා ප‍්‍රමාණයෙහි ශීඝ‍්‍ර ඉහළ යාමක් දැකිය හැකියි. එහෙත්, අවාසනාවකට මෙන් ඇතැම් ක්ෂේත්‍ර ආශි‍්‍රතව තවදුරටත් විශාල වෙනසක් ඇති වීමට අවශ්‍ය බවද කිව යුතුයි".