කාර් ලියාපදිංචිය නව වාර්තාවක් තබයි. මරුටි සුසුකි වලින් පාරවල් පිරේ

    June, 22, 2015

    නව රජයේ අතුරු අයවැය මගින් කුඩා මෝටර් රථ සඳහා බදු අඩුකිරීම නිසා 2015 මැයි මාසයේදී මෙරට ලියාපදිංචි වූ මරුටි සුසුකි මෝටර් රථ ප්‍රමාණය 2,512 ක් දක්වා ඉහළ නැග ඇතැයි නවතම දත්ත මගින් හෙළිවේ.

    JB Securities කොටස් තැරැව්කාර සමාගම නවතම දත්ත ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ 2014 වසරේ නොවැම්බර් මාසයේදී මෙරට ලියාපදිංචි වී තිබුණේ මරුටි සුසුකි මෝටර් රථ 325 ක් පමණක් බවයි. මෙම ප්‍රමාණය 2014 දෙසැම්බර් මාසය වනවිට මෝටර් රථ 1,100 ක් දක්වාත් 2015 ජනවාරි මාසය වනවිට මෝටර් රථ 1,363 ක් දක්වා ඉහළ නැග තිබුණි.

    මෙම මෝටර් රථ අතුරින් වැඩිම අලෙවියක් පෙන්වා තිබෙන මරුටි ඇල්ටෝ මෝටර් රථ 2,311 ක් 2015 මැයි මාසයේදී මෙරට ලියාපදිංචි වී ඇත.
    මේ අතර, මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් අලෙවිකරන Geely Panda මෝටර් රථ 384 ක් 2015 මැයි මාසයේදී අලෙවිකර තිබෙන අතර අප්‍රේල් මාසයේදී අලෙවිකර තිබුණේ එම මෝටර් රථ 325 ක් පමණි.

    මේ අතර, පසුගිය කාලයේ මෙරට වැඩි වශයෙන් අලෙවි වූ Honda Vezel hybrids මෝටර් රථ අලෙවිය පසුගිය මැයි මාසයේදී 308 ක් දක්වා අඩුවී තිබෙන අතර පසුගිය ජනවාරි මාසයේදී මෙම රථ 1,263 ක් මෙරට අලෙවිකර තිබුණි.

    අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් මෝටර් රථවල බදු වැඩිකිරීම හමුවේ 2015 මැයි මාසයේදී ලියාපදිංචි වූ හයිබ්‍රීඩ් මෝටර් රථ ප්‍රමාණය 2,791 ක් දක්වා අඩුවී තිබෙන අතර මේ වසරේ ජනවාරි මාසයේදී මෙරට හයිබ්‍රීඩ් මෝටර් රථ 4,320 ක් ලියාපදිංචි වී තිබුණි.

    මේ අනුව, සමස්තයක් ලෙස මේ මැයි මාසයේදී මෙරට ලියාපදිංචි වූ මෝටර් රථ ප්‍රමාණය සියයට 205 කින් ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී වර්ධනය වී මෝටර් රථ 5999 ක් ලියාපදිංචි වී ඇත.

    මෙය මෙරට මාසයක් තුළ ලියාපදිංචි වූ වැඩිම මෝටර් රථ සංඛ්‍යාවයි.