කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය පුළුල් කිරීමට කොමර්ෂල් බැංකුවේ දායකත්වය

    December, 9, 2021

    කොමර්ෂල් බැංකුව විසින් ‘කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය’ සඳහා ලබාදෙන දායකත්වය දීර්ඝ කිරීම හේතුවෙන් කොග්ගල ජලාශයේ දුපතක තවත් මීටර් 600 ක කඩොලාන වගාකිරීමට හැකිවී තිබේ.

    ‘කත්දුව’ දුපතේ පාංශු ඛාදනය නිසා විනාශ වෙමින් තිබුණු ඉවුර ආරක්ෂා කිරීමට මීටර් 550 ක දුරකට කඩොලාන වගාකර එම ඉවුර ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය (WORC) විසින් දියත් කරන ලද ව්‍යාපෘතියේ පළමු අදියර දෙක සඳහාම කොමර්ෂල් බැංකුව විසින් සහයෝගය දක්වන ලදී.

    මෙම ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ කත්දුව වටා තවත් කඩොලාන පැල 4,500 ක්, කඩොලාන පරිවාර ශාඛා 500 ක් සහ තවත් ශාඛා 250 ක් රෝපණය කිරීමට කොමර්ෂල් බැංකුව විසින් අරමුදල් සපයනු ඇත.

    මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා සහ බැංකුවේ සමාජ සත්කාරක භාරයේ භාරකරුවන් එම ප‍්‍රදේශයට පසුගියදා ගිය අතර එය ඉතාමත් සාර්ථකව ක‍්‍රියාත්මක කර තිබෙන බව නිරීක්ෂණය කරන ලදී.

    මේ අතර, මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය මත මෙම ව්‍යාපෘතියේ නවතම අදියර සඳහා දකුණු පළාතේ තෝරාගත් පාසැල්වල සිසු දරුවන්ට සහභාගීවීමේ අවස්ථාව ලබාදෙනු ඇත. ඒ තුළින් පරිසර සංරක්ෂණය සහ දැනුම වර්ධනය කිරීමේ ක‍්‍රියාකාරකම් වල යෙදීමට ඔවුනට හැකිවනු ඇත. එසේම, විදේශ විශ්ව විද්‍යාලවල සිසුන්ටද සතිපතා පදනමින් මේ සඳහා ස්වේච්ඡාවෙන් සම්බන්ධ වීමට අවස්ථාව උදාකර තිබේ.

    (ඉහළ) මෙම ව්‍යාපෘතිය නැරඹීමට ගිය කොමර්ෂල් බැංකුවේ කණ්ඩායම සහ (පහළ) කොග්ගල ජලාශයේ කත්දුව වටා කඩොලාන නැවත වගා කිරීමට ස්වේච්ඡාවෙන් සම්බන්ධ වී සිටින කිහිප දෙනෙකු සහ මෙම කටයුත්ත සඳහා සූදානම් කර තිබෙන කඩොලාන තවානක් සේයාරු වලින් දැක්වේ.