කොටස් වෙළෙඳපොළ සුවිශේෂී කඩඉමක් පසුකරයි. විදෙස් ආයෝජකයෝ වැඩිවැඩියෙන් මිල දී ගනිති

    August, 3, 2023

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේ දී තවත් සුවිශේෂී කඩඉමක් පසුකරනු ලැබීය.

    මෙහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,500 සීමාව ඉක්මවා ගිය අතර එය 2022 පෙබරවාරි 28 දිනෙන් පසු මෙම කඩඉමෙන් ඔබ්බට ගිය පළමු අවස්ථාව මෙය වනු ඇත.

    ඒ අනුව අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 135.51 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 11,582.34 ක් ලෙසින් සටහන් විය.

    S&P SL20 දර්ශකට දිනය තුළ ඒකක 68.61 කින් ඉහළ ගොස් ඒකක 3,389.67 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    රු. බිලියන 6.61 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්ත වී තිබීම විශේෂත්වයකි.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.84 ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 6.35 ක් ලෙසත් වාර්තා වූ අතර කලකට පසු විදේශීය මිල දී ගැනීම් රු. බිලියනයේ සීමාව අද දින පසු කර තිබුණි.

    ඒ අනුව රු. බිලියන 1.77 ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් දිනය තුළ වාර්ත වී ඇති විදේශීය විකිණුම් රු. මිලියන 265 ක් ලෙසින් සටහන් වී ඇත.

    සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, මෙල්ස්ටාකෝප්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ HNB යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.

    NDB බැංකු සමාගමේ රු. බිලියන 1.06 ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත් විය. එහිදී NDB  කොටස් මිලියන 13.22 ක් හුවමාරු වී තිබුණි.

    මීට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංස් (රු. මිලියන 398), HNB (රු. මිලියන 352), පෑන්ඒෂියා බැංකුව (රු. මිලියන 337), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් (රු. මිලියන 293) සහ කොමර්ෂල් බැංකුව (රු. මිලියන 287) අද දින පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදුන් සමාගම් අතර පෙරමුණේ විය.