කොමර්ෂල් බැංකුවට ඒෂියාමනි සඟරාවෙන් සම්මාන දෙකක්

    April, 9, 2021

    හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුවසහ ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුවයන සම්මාන ලබයි

    ආසියාවේ බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ කර්මාන්තවල හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව මගින් පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය පිට පිටම දෙවන වසර සඳහාත් දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ.

    ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රය දියුණු කිරීම තුළින් රටේ ආර්ථිකයට බැංකුව ලබාදී තිබෙන දායකත්වය සහ එම ක්ෂේත‍්‍රය සවිබල ගැන්වීම වෙනුවෙන් බැංකුව ඉදිරිපත් කර තිබෙන මූල්‍ය සේවා ඇගයීමෙන් පසුව බැංකුව වෙත ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ යන ජාත්‍යන්තර සම්මානය ලබාදී තිබීම මෙහිදී කැපී පෙනේ. මේ අතර, බැංකුව විසින් සිය ආයතනික සමාජ වගකීම් භාරය මගින් මෙරට අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය සහ ප‍්‍රජා සංවර්ධනය දියුණු කිරීම සඳහා රටපුරා ජාතික මට්ටමින් කරන මෙහෙවර ඇගයීමට ලක් කරමින් මෙහිදී ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන ජාත්‍යන්තර සම්මානය ලබාදී ඇත.

    පළමු සම්මානය දිනාගැනීම සඳහා 2020 වසරේදී බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීමට අඛණ්ඩව දැක්වූ සහයෝගයද හේතුවී තිබෙන අතර ඒ වෙනුවෙන් සමස්ත වසර තුළදී බැංකුව විසින් විශාල අරමුදල් ප‍්‍රමාණයක් වෙන්කර තිබේ. කොඩිව්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කළ ණය වැඩසටහන සහ බැංකුව විසින් ගොඩනැගූ ණය වැඩසටහන් යටතේ ව්‍යාපාරිකයින්ට සහයෝගය ලබාදීමට බැංකුව කටයුතු කර ඇත.

    ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට වැඩිම ණය මුදලක් ලබාදෙන බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනේ. විශේෂිත ඉතිරිකිරීමේ ගිණුම්, ණය උපකරණ සහ සුළු හා මධ්‍යම පරිමාණ ගනුදෙනුකරුවන්ට වෙන්වූ සේවාවන් ලබාදීමට අමතරව බැංකුව විසින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ටම වෙන්වූ ක්‍රෙඩිට් කාඞ් පතක් හඳුන්වා දීමට, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට එකිනෙකා හඳුනාගැනීම සඳහා අවස්ථාව ලබාදීම වෙනුවෙන් කොම්බෑන්ක් බිස් ක්ලබ් ආරම්භ කිරීමට, ණය වලින් එහාට ගිය විශේෂිත බැංකු සහන සහ පුද්ගලික බිස් ක්ලබ් ඩෙබිට් කාඞ් පතක් ලබාදීම ඇතුළු ප‍්‍රතිලාභ මාලාවක් බැංකුව විසින් සම්පාදනය කර ඇත. බැංකුව විසින් පැවැත්වූ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මගින් සුළු හා මධ්‍යම පරිමාණ ගනුදෙනුකරුවන් 9000 කට වැඩි සංඛ්‍යාවකට බැංකුව මේ දක්වා සහයෝගය ලබාදී තිබේ.

    කොවිඞ් වංසගත තත්ත්වය හමුවේ වුවද බැංකුව විසින් ප‍්‍රජා සත්කාරක ව්‍යාපෘති සඳහා අඛණ්ඩව දක්වන සහයෝගය ආයතනික සමාජ වගකීම් සම්මානය දිනාගැනීමට හේතුවී තිබේ. 2020 වසරේදී බැංකුව විසින් කොවිඞ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළ අතර ශ‍්‍රී ලංකාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් ස්වයංපෝෂිත කිරීමට ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් ආරම්භ කර තිබෙන ‘තුරු මිතුරු’ ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබාදී ඇත. මේ අතර, මෙරට තොරතුරු තාක්ෂණික අධ්‍යාපන කටයුතු නැංවීම වෙනුවෙන් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන ව්‍යාපෘතිය යටතේ මේ වනවිට අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 200 ක් ගොඩනගා තිබෙන අතර පාසැල් 50 ක කෝඩිං ක්ලබ්ස් 50 ක් ගොඩනගා ඇත. මීට අමතරව, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය විෂයන් ජනප‍්‍රිය කිරීම සඳහා පාසැල් 100 ක STEM පන්ති කාමර 100 ක් ගොඩනැගීම බැංකුව විසින් ආරම්භ කර ඇත. එසේම, සලකා බලන වසර තුළදී පාසැල්වල ගණිත විද්‍යාගාර ආරම්භ කිරීමට බැංකුව අරමුදල් ලබාදී තිබෙන අතර උසස් අධ්‍යාපනය ලැබීමට නොහැකිවන දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදීමට කටයුතු කර තිබේ. ඒ සමඟම, වියලි කළාපයේ කැලෑ හෙක්ටයාර් 100 ක් නැවත වගාකිරීමටද බැංකුව ප‍්‍රතිඥා දී ඇත.

    කොමර්ෂල් බැංකුව සෑම වසරකම තම බදු වලට පසු ලාභයෙන් 1% ක මුදලක් සිය ආයතනික සමාජ වගකීම් භාරයට ලබාදෙයි.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 890 ක් පවත්වාගෙන යයි.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.