කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට මෙරට ප‍්‍රමුඛ සේවා සැපයුම්කරුවන්ගේ බිල්පත් ස්වයංක‍්‍රීයව ගෙවීමේ අවස්ථාව

    May, 31, 2021

    • ඩයලොග්, විදුලිබල මණ්ඩලය, මොබිටෙල් සහ ජල සම්පාදන මණ්ඩලයේ මාසික බිල්පත් පහසුවෙන් ස්වයංක‍්‍රීයව ගෙවිය හැක
    • කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය තුළින් බිල්පත් පියවීමට ඩිජිටල් ලියාපදිංචියට ඉඩ

    ශ‍්‍රී ලංකාවේ ජනතාව වැඩිපුරම භාවිතා කරන සේවා සඳහා ගෙවිය යුතු මාසික බිල්පත් ගාස්තු  ඕනෑම තැනක හිඳ ස්වයංක‍්‍රීයව ඉතාමත් පහසුවෙන් ගෙවීමේ ස්වයංක‍්‍රීය බිල්පත් ගෙවීමේ සේවාවක් කොමර්ෂල් බැංකුව විසින් සිය ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් වෙනුවෙන් හඳුන්වා දී තිබේ.

    මෙම ස්වයංක‍්‍රීය පහසු බිල්පත් ගෙවීමේ ක‍්‍රමයට අලූතින්ම එක්වූ ආයතන අතරට මොබිටෙල් සහ ජල සම්පාදන මණ්ඩලය අයත්වන බවත් මින්පසුව මෙම ආයතන දෙකේ බිල්පත්ද මෙමගින් ගෙවිය හැකි බවත් බැංකුව සඳහන් කරයි.

    මේ අනුව, පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට පිටතට නොගොස් නිවසේ සිටම තම බිල්පත් ගෙවීමට අවස්ථාව මෙමගින් ලැබෙන නිසා සිය ආරක්ෂාව සලසා ගැනීමට අවස්ථාව හිමිවී තිබේ. මේ අනුව, ලියාපදිංචි කරන ක්‍රෙඩිට් කාඞ්පතක් තුළින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට මෙම සේවාව ඔස්සේ මේ වනවිට ඩයලොග්, ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, මොබිටෙල් සහ ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය යන ආයතනවල බිල්පත් සෑම මාසයකදීම ස්වයංක‍්‍රීයව ගෙවා දැමිය හැකිබව බැංකුව පවසයි.

    බැංකුව සඳහන් කරන්නේ මෙම ස්වයංක‍්‍රීය බිල්පත් ගෙවීමේ සේවා සඳහා ලියාපදිංචි වීම ඉතාමත් සරල බවයි. මේ සඳහා ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියට සිය ක්‍රෙඩිට් කාඞ්පත් තොරතුරු ඇතුළත් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර එහි කොන්දේසි පිළිගනිමින් මෙම සේවාව ලබාගැනීමට ලියාපදිංචි විය හැකි නිසා මෙම සේවාව සක‍්‍රීය කරගැනීමට කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට බැංකුවට පැමිණිය යුතු නොවේ.

    ‘මෙම කාලයේ හැටියට මෙය ඉතාමත් කදිම විසඳුමක්. ගනුදෙනුකරුවා මෙම සේවාවේ ලියාපදිංචි වී මෙම පද්ධතියට තමන්ගේ ක්‍රෙඩිට් කාඞ්පත් ගිණුම එක්කළ පසුව සෑම මසකම අවශ්‍ය බිල්පත් කලට වේලාවට ස්වයංක‍්‍රීයව ගෙවීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ගනුදෙනුකරුවා මැදිහත් වීම අවශ්‍ය වන්නේ නැහැ.’ යනුවෙන් මෙම සේවාව පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා පැවසීය. ‘මෙය ඉතාමත් සුරක්ෂිත සහ නිවැරදි ස්වයංක‍්‍රීය ඩිජිටල් ගෙවීමේ ක‍්‍රමයක්. අපි ඉදිරියේදී මේ සඳහා රක්ෂණ සහ ජංගම දුරකතන බිල්පත් ගෙවීම් ඇතුළු සේවා රැසක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.’

    මේ අනුව, මෙම සේවාව සක‍්‍රීය කර ගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට සිය වීසා, මාස්ටර්කාඞ් හෝ යුනියන්පේ ක්‍රෙඩිට් කාඞ්පත් ‘ඔටෝ බිල් පේ’ පහසුකමේ ලියාපදිංචි කළ හැකි වේ. මේ තුළින් ගනුදෙනුකරුවන්ට කොමර්ෂල් බැංකුවේ එක් ක්‍රෙඩිට් කාඞ්පතක් තුළින් තමන්ගේ සියළුම බිල්පත් ගෙවීම ඉතාමත් පහසුවෙන් කළමනාකරණය කරගත හැකි අතර ඔවුන්ට ඩිජිටල් ගෙවීමේ පුරුදු ඇතිකර ගැනීමටද මෙයින් අවස්ථාවක් ලබාදෙයි. මෙම සේවාවේ නිවැරදිව ලියාපදිංචි වූ පසුව අදාළ ආයතනය විසින් බිල්පත් කොමර්ෂල් බැංකුවට යොමුකරන අතර බැංකුව විසින් එම බිල්පත් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියා වෙනුවෙන් ගෙවා එහි රිසිට්පත් ඊ-මේල් පණිවුඩයක් හෝ කෙටි පණිවුඩයක් මගින් ගනුදෙනුකරුවාට යවයි.

    පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.