කොමර්ෂල් බැංකුවේ ජංගම දුරකතන බැංකු සේවා සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් එළිදක්වයි

    September, 27, 2016

    ශ‍්‍රී ලංකාවේ විශාලතම වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් සිය ජංගම දුරකතන බැංකු පහසුකම භාවිතා කරන්නන්ට එහි සේවාවන් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද ලබාගැනීමේ අවස්ථාව ලබා දී ඇත.

    බැංකුවේ ජංගම දුරකතන බැංකු සේවාවේ USSD (Unstructured Supplementary Service Data) සංස්කරණය යටතේ මෙම සේවාව ලබාගත හැකි අතර මෙහිදී සිංහල සහ දෙමළ වචන ඉංග‍්‍රිසි අකුරු මගින් ඉදිරිපත් කරන ඇත.

    ජංගම දුරකතන පාරිභෝගිකයින්ට ඩයලොග්, මොබිටෙල් සහ එටිසලාට් සම්බන්ධතාවයන් ඔස්සේ USSD තාක්ෂණය පදනම් කරගත් ජංගම බැංකු සේවා සපයන මෙම පිවිසුම මගින් ගිණුමේ හා ණයපත් ශේෂය දැනගැනීම, විවිධ වූ බිල්පත් ගෙවීම, ණයපත් වලට අදාළ ගෙවීම් කිරීම, තමන්ගේ ගිණුම් අතර අරමුදල් මාරු කිරීම, විනිමය අනුපාත තොරතුරු දැනගැනීම, පුද්ගලික හඳුනා ගැනීමේ අංකය (PIN) වෙනස් කිරීම, ජංගම දුරකතන රීලෝඞ් පහසුකම් ලබාගැනීම සහ කුඩා පරිමාණයේ බැංකු වාර්තාවක් ලබාගැනීම ඇතුළු නොයෙක් බැංකු ගනුදෙනු ඉතාමත් පහසුවෙන් සිදුකිරීමට හැකිය.

    USSD තාක්ෂණය මගින් ලබාදෙන මෙම සේවා වෙළඳ පොළේ තිබෙන මූලික මට්ටමේ දුරකතනයක සිට ඉතාමත් ඉහළ දුරකතනයක් දක්වා ඕනෑම දුරකතනයකින් ලබා ගැනීමේදී අන්තර් ජාල සම්බන්ධතාවයක් හෝ විශේෂ මෘදුකාංගයක් අවශ්‍ය නොවේ. පාරිභෝගිකයෙකුට කොමර්ෂල් බැංකුවේ ජංගම දුරකතන බැංකු සේවා ලබාගැනීමට අවශ්‍ය නම් කොමර්ෂල් බැංකු ශාඛාවකට පැමිණ අයදුම්පතක් පුරවා භාරදීමෙන් ඉතාමත් පහසුවෙන් මෙම සේවාව ලබාගත හැකිය. එවිට අදාළ රහස් වචනය සහ මෙම පහසුකම භාවිතා කරන ආකාරය පිළිබඳ උපදෙස්ද ලබාදෙනු ඇත.