කොමර්ෂල් බැංකුවේ වීසා ඩෙබිට් කාඞ්පත් වලට මුදල් එවන විට ගාස්තු අය නොකිරීමට මනිග‍්‍රෑම්, වීසා සමග ඒකාබද්ධ වෙයි

    May, 12, 2021

    ඇමරිකාවේ සිට මනිග‍්‍රෑම් මුදල් පේ‍්‍රෂණ සේවාව ඔස්සේ කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන වීසා ඩෙබිට් කාඞ්පත් සඳහා මුදල් ගෙන්වා ගන්නා ගනුදෙනුකරුවන්ගෙන් ඉදිරි මාස තුන ඇතුළත කිසිදු ගාස්තුවක් අය නොකරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

    මෙම ඒකාබද්ධ ප‍්‍රවර්ධන වැඩසටහනට අනුව ඇමරිකාවේ සිට කොමර්ෂල් බැංකුවේ වීසා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට මුදල් එවීමේදී මනිග‍්‍රෑම් විසින් මුදල් එවන්නාගෙන් ගාස්තුවක් අය නොකරන බව බැංකුව පවසයි. මෙම ගනුදෙනු ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම පහසු ‘වීසා ඩිරෙක්ට්’ වැඩසටහන ඔස්සේ කාඞ්පත් හිමියන්ගේ මූල්‍ය ගිණුම් වලට එවලේම මුදල් යැවීම සිදුකරයි.

    මෙම ප‍්‍රවර්ධන වැඩසටහන නිසා කොමර්ෂල් බැංකුවේ වීසා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට ගාස්තු රහිතව මුදල් ගෙන්වා ගැනීමට අමතරව ඉතාමත් ශක්තිමත් අයුරින් අවධානම සහ වංචාවන් කළමනාකරණය කරන වීසා ඩිරෙක්ට් සුරක්ෂිත ජාලය ඔස්සේ වේගවත්ව මුදල් ලබාගැනීමේ අවස්ථාව උදාවන බව බැංකුව සඳහන් කරයි.

    ලෝකයේ ප‍්‍රමුඛතම මුදල් පේ‍්‍රෂණ සේවාවක් ලෙසින් කීර්තියක් දිනා තිබෙන මනිග‍්‍රෑම් හි, ප‍්‍රමුඛතම සේවා අතරට මූල්‍ය ආයතන සහ සිල්ලර ගනුදෙනුකරුවන් සඳහා ගෝලීය මුදල් පේ‍්‍රෂණ සේවා, මනි  ඕඩර් සේවා සහ ගෙවීම් ක‍්‍රියාවලී විසඳුම් සැපයීම ඇතුළත් වේ.

    කාබන් උදාසීන තත්ත්වයට පත්වූ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.