කොමර්ෂල් බැංකුව ත‍්‍රිකුණාමලය මහ රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

    December, 17, 2021

    රජයේ රෝහල් වලට සහ සෞඛ්‍ය ආයතන වලට සහයෝගය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහනෙන් නවතම ප‍්‍රතිලාභ ලැබූ රෝහල බවට ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් මහ රෝහල පත්වී තිබේ. එහි හදිසි ප‍්‍රතිකාර කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින් බැංකුව විසින් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර ඇත.

    කොමර්ෂල් බැංකුව පසුගියදා මෙම රෝහලට ඔක්සිජන් සැපයුම් උපකරණ, රුධිර පීඩන මාන, සේලයින් කණු, අධිසත්කාර ඒකක ඇඳන්, ඔක්සිමීටර, කාඩිඇක් මොනිටර, කාඩියෝග‍්‍රැෆි යන්ත‍්‍රයක්, විඩියෝ ලැරින්ජෝස්කොප් යන්ත‍්‍රයක් සහ DVT පොම්පයක් යන උපකරණ පරිත්‍යාග කරන ලදී.

    කොවිඞ්-19 වසංගතයේදී ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරය මෙම වැඩසටහන දියත් කර ඇත. මේ තුළින් රෝගීන්ට ලබාදෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ යන අතර රජයේ රෝහල් 25 කට වැඩි ප‍්‍රමාණයකට පරිත්‍යාග කර තිබෙන පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) කට්ටල, KN95 මුහුණු ආවරණ, සර්ජිකල් මුහුණු ආවරණ, දෑත් සේදුම් විෂබීජ නාශක දියර, ස්ලිට් ලාම්පු, පල්ස් ඔක්සිමීටර්, මල්ටිපැරා මොනිටර් සහ ඔක්සිජන් කන්සන්ටේ‍්‍රටර යන උපකරණ මගින් වෛරසය පැතිරීම පාලනය කිරීමට උපකාරී වේ. මීට අමතරව, බැංකුව විසින් පසුගිය වසරේදී රජය විසින් ඇතිකළ ජාතික කොවිඞ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මුදල් පරිත්‍යාගයක්ද සිදුකරන ලදි.

    සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ නැගෙනහිර කළාපයේ කළමනාකරු, ඒ. ජෙයබාලන් මහතා (වමේ සිට තුන් වැනියා) විසින් රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අයි. ඩබ්ලිව්. එම්. ජගත් වික‍්‍රමරත්න මහතා වෙත මෙම උපකරණ තොගය භාරදෙන ආකාරයයි. මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලය ශාඛාවේ කළමනාකරු එස්. සිවකුමාර් මහතාද (වමේ සිට දෙවැන්නා) සහභාගි විය.