කොමර්ෂල් බැංකුව වෙතින් තම කාර්ය මණ්ඩලයට ගැටළු විසඳීමේ කෞශල්‍යය විදහා දැක්වීම සඳහා hackathon තරගයක්

    October, 4, 2023

    බැංකු සේවකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීමට හා ගැටළු විසඳීමේ ශුරතාවය විදහා දැක්වීමට ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් සමඟ සහයෝගයෙන් කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ප‍්‍රථම hackathon වැඩසටහනේදී බැංකුවේ මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම තරගයේ ජයග‍්‍රහණය අත්කර ගැනීමට සමත් විය. මධ්‍යම ගිණුම් අංශයේ කණ්ඩායම විසින් ‘හානිපූරණ විශ්ලේෂණය’ සඳහා විසඳුම් පුවරුවක් ඉදිරිපත් කළ අතර, සැළසුම් අංශයේ කණ්ඩායම හා මධ්‍යම පද්ධති උපකාරක දෙපාර්තමේන්තුවේ කණ්ඩායම ඉදිරිපත් කළ ‘අත්තිකාරම් සහ තැන්පතු විශ්ලේෂණය’ හා ‘හරස් විකුණුම් අනුපාත විශ්ලේෂණය’ පිළිබඳ ඔවුන්ගේ යෝජනා සඳහා පිළිවෙලින් දෙවන හා තුන්වන ස්ථාන හිමිවිය.

    කොමර්ෂල් බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, තරඟ වදින කණ්ඩායම් 10ට ම ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයෙකුගෙන් මගපෙන්වීම් ලැබුනි. මෙම උපදේශකයින් වටිනා අවබෝධයක් ලබා දුන් අතර, ඔවුන්ගේ අත්දැකීම් ද බෙදාහදා ගනිමින් නිර්මාණාත්මක ප‍්‍රතිපෝෂණ ඉදිරිපත් කළහ. තරගයෙහි දෙවන වටය 2023 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කි‍්‍රයාත්මක වන අතර එහිදී නව්‍ය දත්ත පදනම් වූ විසඳුම් අවශ්‍යව තිබෙන අනෙකුත් දැවෙන ව්‍යාපාරික ගැටළු ඉදිරිපත් කරනු ඇති බව බැංකුව පවසයි.

    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප‍්‍රභාගර් මහතා අතින් ජයග‍්‍රාහී කණ්ඩායම්වල සාමාජිකයින් මුදල් ත්‍යාග ලබා ගන්නා අයුරු සේයාරුවලින් දැක්වේ.