කොමර්ෂල් බැංකුව සහ බ‍්‍රවුන්ස් වෙතින් ට‍්‍රැක්ටර් සහ අස්වනු නෙළන යන්ත‍්‍ර සඳහා විශේෂ ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහනක්

    September, 19, 2023

    කොමර්ෂල් බැංකුව සහ බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා රටේ ගොවි ප‍්‍රජාව සවිබල කිරීමට නවීන තාක්‍ෂණය සහ උපකරණ ලබා ගැනීම උදෙසා නැවත වරක් එකට එක්ව නව ලීසිං ප‍්‍රවර්ධනයක් ප‍්‍රකාශයට පත්කර ඇත.

    බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම විසින් ආනයනය, විකිණිම සහ සේවාව සපයනු ලබන TAFE ට‍්‍රැක්ටර් සහ SUMO හා YANMAR අස්වනු නෙලන යන්ත‍්‍රද මෙම වැඩපිළිවෙල තුළින් ආවරණය වේ.

    මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ කොමර්ෂල් බැංකුව විසින් සපයනු ලබන ලීසිං පහසුකම් සහිතව මිලදී ගන්නා ට‍්‍රැක්ටර් සහ අස්වනු නෙළන යන්ත‍්‍ර සඳහා, සම්මත පොලී අනුපාත මත 1%ක වට්ටමක් හිමිවන අතර, බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් විසින් මෝටර් රථ ලියාපදිංචිය හෝ වෙනත් රාජ්‍ය ආයතනවල ලියාපදිංචිය සඳහා නොමිලේ කටයුතු කරනු ඇතැයිද බැංකුව පවසයි.

    මීට අමතරව TAFE ට‍්‍රැක්ටර්වල තෝරාගත් මාදිලි සඳහා බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් විසින් පළමු වසර සඳහා නොමිලේ රක්ෂණයක් ලබාදෙනු ඇත. මීට අමතරව මිලදී ගන්නා සියලූම ට‍්‍රැක්ටර් මාදිලි සඳහා සේවා හතරකට ශ‍්‍රම ගාස්තු සමාගම විසින් දරනු ඇත.

    මේ අතර මෙම ප‍්‍රවර්ධන වැඩසටහන හරහා මිලදී ගන්නා YANMAR සහ SUMO යන අස්වැන්න නෙළන යන්ත‍්‍ර සඳහා, පිළිවෙලින් සේවා සැසි තුනක් සහ දෙකක් නොමිලයේ ලබාදෙනු ඇත.

    ප‍්‍රවර්ධනයේ අරමුණු සඳහා සහාය දැක්වීමක් වශයෙන්, කොමර්ෂල් බැංකුව විසින් ආකර්ශනීය විශේෂ මිල ගණන් යටතේ අභිරුචිකරණය කරන ලද ලීසිං පැකේජ පිරිනැමෙයි. ගොවීන්ගේ ආදායම් රටාවට අනුරූප වන බැංකුවේ කන්න වාරික විකල්පයද ලබාදෙන අතර, එහිදී අස්වැන්න නෙළන කාලය තුළ පමණක් කන්න වාරික ක‍්‍රියාත්මක වෙයි.

    ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 957 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

     

    සේයාරු සටහන :- කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී එස්. ප‍්‍රභාගර් මහතා සහ බ‍්‍රවුන්ස් සමාගමේ කෘෂිකර්ම හා බර යන්ත්‍රෝපකරණ අංශයේ ප‍්‍රධාන විධායක නිලධාරී සංජය නිශ්ශංක මහතා අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව දැක්වෙයි. බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගමේ විකුණුම් අංශයේ ප‍්‍රධානී තුෂාන් නිලංක මහතා, මෙහෙයුම් අංශයේ ප‍්‍රධානී චානක චන්ද්‍රසේකර මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නියාස් අහමඞ් මහතා මෙන්ම, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා, පුද්ගලික ණය නිෂ්පාදන කළමනාකරු ගයාන් විජේසිංහ මහතා සහ පාරිභෝගික නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරී චන්ද්‍රි පේ‍්‍රමරත්න මහත්මියද සේයාරුවෙහි වෙති.