කොමර්ෂල් බැංකුව www.combank.lk වෙබ් අඩවිය නවාංග රැසක් සමග භාෂා ත‍්‍රිත්වයෙන්ම එළිදක්වයි

    July, 26, 2021

    ගනුදෙනුකරුවන් සහ තොරතුරු සොයන්නන් මිලියන ගණනක් ඉතාමත් උනන්දුවෙන් පරිශීලනය කරන කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය අති නවීන වැඩිදියුණු කිරීම් සහ නවාංග සමගින් භාෂා ත‍්‍රිත්වයෙන්ම එළිදැක්වීමට බැංකුව විසින් කටයුතු කර තිබේ.

    වැඩිදියුණු කරන ලද කොමර්ෂල් බැංකුවේ නව ආයතනික වෙබ් අඩවිය පරිශීලනය කරන්නෙකුට තමන් කැමතිම භාෂාවෙන් විවෘත කර අවශ්‍ය සේවා ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

    සියළුම ඩෙක්ස්ටොප් පරිගණක වලින්, ජංගම දුරකතන වලින් සහ ටැබ් පරිගණක වලින් මෙම වෙබ් අඩවියට ප‍්‍රවේශ විය හැකි අතර වේගවත්ව සහ පහසුවෙන් බැංකුකරණ කටයුතු කර ගැනීමට ගනුදෙනුකරුවන්ට ඉතාමත් සුවිශාල පහසුවක් නිර්මාණය කර තිබේ.

    මෙම වෙබ් අඩවිය නැවත එළි දැක්වීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ සඳහන් කළේය. ‘මෙරට බැංකු අංශයේ තාක්ෂණය පදනම් කරගනිමින් ගනුදෙනුකරුවන්ට පහසුව ඇතිකිරීමේ පුරෝගාමියෙකු ලෙස කොමර්ෂල් බැංකුව පෙන්වා දිය හැකියි. අපගේ වෙබ් අඩවිය නැවත එළිදැක්වීමත් සමග තාක්ෂණය අතින් පමණක් මෙම තත්ත්වය තහවුරු කරන අතරම ඉතාමත් සරලව තේරුම් ගැනීමට හැකි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් සහ ගනුදෙනුකරුවන්ට ඔවුන්ට අවශ්‍ය අන්තර්ජාල අත්දැකීම අප වෙතින් ලබාගැනීමට අවස්ථාව ලබාදෙමින් අපගේ ගනුදෙනුකාර සේවාව වර්ධනය කිරීමට අප කටයුතු කර තිබෙනවා. එසේම, මෙම වෙබ් අඩවිය අළුතින් නිර්මාණය කිරීමේදී විශ්ලේෂණාත්මක සමීක්ෂණ දත්ත අප විසින් ප‍්‍රයෝජනයට ගත්තා. වඩාත් ජනප‍්‍රිය පිටු හඳුනාගැනීමට, ලබාදිය යුතු සේවය පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීමට මෙම සමීක්ෂණ ප‍්‍රතිඵල අපිට වැදගත් වුණා.’

    මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමේ වටිනාකම තවදුරටත් වර්ධනය කරමින් වෙබ් අඩවියේ සඳහන් ලයිස්තුවෙන් හෝ ගූගල් සිතියම් ආශ‍්‍රයෙන් තමාට ආසන්නයේම තිබෙන කොමර්ෂල් බැංකු සේවා ස්ථානයේ තොරතුරු ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබේ. මෙම පහසුකම මගින් ගනුදෙනුකරුවන්ට තමන්ට ආසන්නයේම තිබෙන කොමර්ෂල් බැංකු ශාඛා, මුදල් ආපසු ගැනීමට හැකි ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර, මුදල් තැන්පතු කිරීමට සහ ආපසු ගැනීමට හැකි කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර, මුදල් තැන්පතු කිරීමේ යන්ත‍්‍ර, සෑම දිනයකම බැංකු කටයුතු කරන ශාඛා, සුපිරි වෙළෙඳසැල් බැංකුකරණ ශාඛා සහ සෙනසුරාදා හෝ ඉරිදා බැංකුකරණ ශාඛා පහසුවෙන් හඳුනාගැනීමට හැකි වේ.

    බැංකුවේ සේවා, ශාඛා පිහිටි ස්ථාන තොරතුරු වලට අමතරව මෙම වෙබ් අඩවිය මගින් වර්තමාන පොලී අනුපාත, ප‍්‍රවෘත්ති සහ ප‍්‍රකාශන, මූල්‍ය වාර්තා, අන්තර්ජාලය ඔස්සේ සේවා සඳහා අයදුම් කිරීමට අවශ්‍ය අයදුම් පත්ද ලබාගැනීමට හැකිබව බැංකුව සඳහන් කරයි.

    www.combank.lk ශ‍්‍රී ලංකාවේ වැඩියෙන්ම සෙවුම් සිදුකරන බැංකුකරණ වෙබ් අඩවිය වන අතර මෙය 2020 Bestweb.lk තරඟාවලියේදී හොඳම බැංකුකරණ සහ මූල්‍ය වෙබ් අඩවියට හිමි රීදි සම්මානය, South Asia Partnership Summit & Business Excellence සම්මාන ප‍්‍රදානෝත්සවයේදී 2019 වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය, ඇමරිකාවේ Web Marketing Association වෙතින් 2018 වසරේදී අති විශිෂ්ට වෙබ් අඩවියට හිමි සම්මානය, SLT Zero One සම්මාන ප‍්‍රදානෝත්සවයේදී 2017 වසරේදී මූල්‍ය අංශයේ වෙබ් අඩවියට හිමි සම්මානය, 2017 වසරේ Bestweb.lk සම්මාන ප‍්‍රදානෝත්සවයේදී හොඳම ආයතනික වෙබ් අඩවියට හිමි ලෝකඩ සම්මානය ඇතුළු දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනාගැනීමට පසුගිය වසර කිහිපය තුළදී සමත්වී තිබේ.

    පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.