කොවිඩ්-19 නිසා පීඩාවට පත්වූ සුළු හා මධ්‍යම පරිමාණ අපනයනකරුවන් සඳහා කොමර්ෂල් බැංකුව තවත් රුපියල් බිලියන 10 ක් යොදවයි

    June, 2, 2020

    කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා පීඩාවට පත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට සහායවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් සකසා ඇති කොවිඞ්-19 සහාය ණය යෝජනා ක‍්‍රමයක් සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 10 ක මුදලක් යොදවන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදුන් ණය පහසුකම යටතේ ක‍්‍රියාත්මක කාරක ප‍්‍රාග්ධන ණය යෝජනා ක‍්‍රමයට අමතරව මෙම ණය ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

    මේ සඳහා කොමර්ෂල් බැංකුව විසින් ඩොලර් මිලියන 50 ක කෙටි කාලීන ණය මුදලක් සංවර්ධන මූල්‍ය ආයතනයකින් ලබාගෙන තිබෙන අතර ව්‍යවසායකයින්ට 8% ක වාර්ෂික සහන පොලී අනුපාතයක් යටතේ මෙම ණය ලබාදෙන අතර එම පොලී අනුපාතය වාර්ෂිකව විමර්ශනයට ලක් කරනු ඇතැයි ද බැංකුව පවසයි.

    මෙම ණය යෝජනා ක‍්‍රමය මගින් කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරවල කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය ලබාදෙන අතර වාර්ෂික විකුණුම් ආදායම රුපියල් මිලියන 750 කට අඩු ව්‍යාපාර මෙම ණය ලබාගැනීමට සුදුසුකම් ලබන බව බැංකුව සඳහන් කරයි. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සහයෝගය ලබාදුන් ‘සෞභාග්‍යා කොවිඞ්-19 පුනරුද පහසුම’ මගින් ප‍්‍රතිලාභ ලබාගැනීමට නොහැකිවූ මධ්‍යම ප‍්‍රමාණයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා මෙම ණය යෝජනා ක‍්‍රමය මගින් සහයෝගය ලබාදීමට විශේෂයෙන් සැලකිල්ල දක්වා තිබේ.

    ‘මූල්‍ය සහාය ලබාගැනීමට අයදුම්පත් අඛණ්ඩව ගලා එනවා. හැකි පරිදි බොහෝ දෙනෙකුට සහායදීමට අපට සිදුවී තිබෙනවා,’ යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘මේ අවස්ථාවේ ව්‍යාපාර සහ ආර්ථිකයන්ට ඇතිවන පීඩනය ලෝකයටම පොදු වූවක්. නමුත්, මේ අවස්ථාවේදී බැංකුවට නායකත්වය ප‍්‍රදර්ශනය කරමින් ඇත්තටම සිදුකළ හැකිදේ කළ හැකියි. මෙම අර්බුදයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර වලට සහයෝගය ලබාදීම සඳහා නව විකල්පයන් සහ අවස්ථාවන් අපි අඛණ්ඩවම සොයා බලනවා.’

    මෙම නව ණය යෝජනා ක‍්‍රමය යටතේ සුදුසුකම් ලබන ව්‍යාපාර වලට බැංකුව විසින් රුපියල් මිලියන 02 සිට රුපියල් මිලියන 25 ක් දක්වා ණය ලබාදෙන අතර ප‍්‍රමුඛතාවය ලබාදිය යුතු අංශ මේ වනවිට හඳුනාගෙන තිබේ. කාන්තාවන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාර, අපනයන හා සම්බන්ධ ව්‍යාපාර සහ කෘෂි කර්මාන්තය සම්බන්ධ ව්‍යාපාරවලට මෙම ණය වැඩසටහන යටතේ ප‍්‍රමුඛත්වය ලබා දෙනු ඇත.

    මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ හඳුනාගෙන තිබෙන අංශ අතරට ආහාර සහ පාන, ඖෂධීය සහ වෛද්‍ය නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ සහ මෘදුකාංග සංවර්ධනය, කුළුබඩු සහ සැකසූ කුළුබඩු, සෞඛ්‍ය පදනම් කරගත් ආරක්ෂක නිෂ්පාදන සහ රබර් පදනම් කරගත් නිෂ්පාදන මෙන්ම නව්‍ය වූ මෘදු ඉංජිනේරුමය නිෂ්පාදන සහ රෙදිපිළි සහ ඇඟලූම් ඇතුළත් වේ.

    මෙම ණය සඳහා අයදුම් කිරීමේදී ණය ගැණුම්කරුවා විසින් යෝජනා කරන ණය අවශ්‍යතාවයෙන් අනිවාර්යෙන්ම අඩුම ගණනේ 10% ක කොටස් දායකත්වයක් දැරිය යුතුවේ. මෙම ණය ලබාගත් පසුව ව්‍යාපාරයේ මූල්‍ය ප‍්‍රවාහය ක‍්‍රියාත්මක වන ආකාරය අනුව මාස 36 ක් ඇතුළත මෙම ණය මුදල ගෙවා අවසන් කිරීමේ අවස්ථාව ණය ගැණුම්කරුවාට හිමිවේ.

    කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් සහ සිය ව්‍යාපාර ලියාපදිංචි කර තිබෙන කොමර්ෂල් බැංකුවේ ‘බිස් ක්ලබ්’ සමාජිකයින් මෙම සහන ණය මුදල සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි. බැංකුව සඳහන් කරන්නේ ව්‍යාපාරික සමූහයට අයත් සමාගම් මෙන්ම යෝජිත ණය පහසුකමද සමග තම මුළු ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 250 ඉක්මවන සමාගම් මෙම ණය යෝජනා ක‍්‍රමයට සුදුසුකම් නොලබන බවයි.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී මාලදිවයින බැංකුවට අමතරව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි.