කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා කොමර්ෂල් බැංකුව තවත් විශේෂ ණය යෝජනා ක‍්‍රමයක් අරඹයි

    June, 12, 2020

    කොවිඞ් වසංගතයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීම සඳහා තම කැපවීම සහ සහයෝගය තවදුරටත් පෙන්නුම් කරමින් කොමර්ෂල් බැංකුව කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්ව තිබෙන මෙරට ක්ෂුද්‍ර ව්‍යාපාර නැවතත් නගා සිටුවීම සඳහා බැංකුව විසින් අරමුදල් සපයන තවත් ණය වැඩසටහනක් ආරම්භ කර තිබේ.

    පසුගිය මාසයක කාලයක් ඇතුලත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව විසින් දියත් කළ බැංකුව අරමුදල් සපයන දෙවන ණය යෝජනා ක‍්‍රමය නම්කර තිබෙන්නේ ‘දිරිශක්ති කොවිඞ්-19 සහාය ණය’ ලෙසයි. රුපියල් මිලියන 15 කට අඩු වාර්ෂික පිරිවැටුමක් සහිත ක්ෂුද්‍ර ව්‍යාපාර වලට කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා ලබාදීමට සහ නැවතත් ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් මෙම ණය යෝජනා ක‍්‍රමය ආරම්භ කර ඇත. මෙම ණය උපරිම වශයෙන් මාස 24 ක් සඳහා 9% ක වාර්ෂික පොලී අනුපාතයකට ලබාගත හැකිය.

    ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින් සඳහා මෙම ණය යෝජනා ක‍්‍රමය ආරම්භ කිරීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොවිඞ් වසංගතයෙන් වඩාත්ම පීඩාවට ලක්වූයේ මෙම කුඩා ව්‍යාපාරයි. මෙම ණය යෝජනා ක‍්‍රමය මගින් අපි බලාපොරොත්තු වන්නේ බිම් මට්ටමේ තිබෙන මෙම ව්‍යාපාර නැවතත් නගා සිටුවීමටයි. කොවිඞ්-19 වසංගතය නිසා ඇතිවූ අභියෝග ජයගැනීම සඳහා ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින්ට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් ඔවුන්ගේ ජීවනෝපායන් සුරක්ෂිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’

    ඕනෑම ව්‍යාපාරයක යෙදී සිටින ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාරිකයින් වන කොමර්ෂල් බැංකුවේ ‘දිවිසරු’ ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට ‘දිරිශක්ති’ ණය ලබාගැනීමට හැකියාව තිබෙන අතර එහිදී ඔවුන් 2020 මාර්තු 25 වනදාට පෙර  ඕනෑම මූල්‍ය ආයතනයකින් ලබාගත් ණය මුදලක් පැහැර නොහැර තිබිය යුතුය. මෙහිදී, සිය ව්‍යාපාරික මෙහෙයුම් නැවතත් ආරම්භ කිරීම සඳහා තනි පුද්ගලයින්ට මෙන්ම ව්‍යාපාර වලටද මෙම ණය යෝජනා ක‍්‍රමය සඳහා අයදුම්කළ හැකිබව බැංකුව සඳහන් කරයි.

    බැංකුව සඳහන් කරන්නේ බැංකුවේ දැනටමත් සිටින ඉතාමත් යහපත් ණය ගෙවීමේ අතීතයක් තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ගැනුම්කරුවන්ට, ක්ෂුද්‍ර ව්‍යාපාර සිදුකරන කාන්තාවන්ට, කිසිදු මූල්‍ය සහායක් ලබාගැනීමට මෙතෙක් සුදුසුකම් නොලැබූ ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින්ට ‘දිරිශක්ති කොවිඞ්-19 සහාය ණය’ ලබාදීමේදී ප‍්‍රමුඛතාවය ලබාදෙන බවයි.

    මෙම වැඩසටහන් සඳහා කොමර්ෂල් බැංකුවට අයත් කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක (AMFU) 16 ක් මගින් සහයෝගය ලැබෙන අතර ජනතාවගේ කෘෂි කාර්මික ක‍්‍රියාකාරකම් හෝ ක්ෂුද්‍ර ව්‍යාපාර දියුණු කිරීමේදී ඒවායේ ප‍්‍රමුඛතාවයන් හඳුනා ගැනීම සඳහා මෙම ඒකක මගින් කොමර්ෂල් බැංකුවට සහයෝගය ලබාදෙයි. මීට අමතරව, මෙම ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සැපයෙන අරමුදල් නිසි පරිදි භාවිතා කරනවාදැයි මෙම ක්ෂුද්‍ර මූල්‍යන ඒකක මගින් නිරීක්ෂණය කරමින් එය සහතික කරයි. බැංකුව සඳහන් කරන්නේ මෙම ණය යෝජනා ක‍්‍රමයට සුදුසුකම් තිබෙන ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින්ට තමන්ගේ බැංකු ශාඛාව සම්බන්ධ කරගනිමින් මෙම ණය යෝජනා ක‍්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි.

    බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක විසින් පසුගිය වසර ගණනාව පුරා විවිධ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයන් ආවරණය කරමින් දිවයින පුරා ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන්, වෘත්තීය පුහුණු වැඩසටහන් සහ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මෙන්ම වැඩමුළු පැවැත්වීමට සහයෝගය ලබාදෙන ලදී.

    කොමර්ෂල් බැංකුව මෙම ණය යෝජනා ක‍්‍රමයට අමතරව මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය ආයතනයෙන් (IFC) ඩොලර් මිලියන 50 ක ණය මුදලක් ලබාගනිමින් කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 10 ක අරමුදල් සැපයීමට අළුත් ණය යෝජනා ක‍්‍රමයක් ආරම්භ කරන ලදී. බැංකුව සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදුන් ‘සෞභාග්‍යා කොවිඞ්-19 පුනරුද පහසුම’ යටතේ ප‍්‍රතිලාභ අහිමිවූ අයට බැංකුව විසින් අරමුදල් සපයන මෙම ණය පහසුකම් ලබාදෙන බවයි.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී මාලදිවයින බැංකුවට අමතරව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි.