ඛනිජ තෙල් මිල 40% කින් ඉහළට. අපට දැනෙන්නේ මැතිවරණයෙන් පසුවද?

    April, 22, 2015

    නව රජය විසින් මෙරට ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස අඩුකර තිබුණත් ලෝක වෙළඳ පොළේ පසුගිය ජනවාරි මාසයේදී ඩොලර් 45 කට පමණ තිබූ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනය වනවිට ඩොලර් 63 ක් දක්වා සියයට 40 කින් පමණ වැඩිවී තිබෙන බවත් ඉදිරියේදී ඛනිජ තෙල් මිල තවදුරටත් වැඩිවනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයින් විසින් පුරෝකතනය කර තිබේ.

    මේ අනුව, ජකර්තා නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට (World Economic Forum) සහභාගී වී සිටින ව්‍යාපාරික නායකයින් විසින් සඳහන් කර තිබෙන්නේ ඉදිරියේදී ඛනිජ තෙල් සඳහා තිබෙන ඉල්ලුම වැඩිවීම හමුවේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් වැඩිවනු ඇති බවත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 65 කට ආසන්න මට්ටමකට ගමන් කරමින් සිටින බවයි.

    ඛනිජ තෙල් සැපයුම වැඩිවීම සහ ඉල්ලුම අඩුවීම හමුවේ පසුගිය ජනවාරි මාසය වනවිට ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් විශාල ලෙස අඩුවූ අතර ජනවාරි මාසයේදී මෙරට විකුණන පෙට්රල් ලීටරයක මිල රුපියල් 33 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 16 කින්ද අඩුකිරීමට රජය පියවර ගත්තේය.

    මේ අනුව, පසුගිය ජනවාරි 21 වනදා සිට පෙට්‍රල් (92 ඔක්ටේන්) ලීටරයක මිල රුපියල් 117 ක් දක්වාත් පෙට්‍රල් (95 ඔක්ටේන්) රුපියල් 128 ක් දක්වාත් ඩීසල් රුපියල් 95 ක් දක්වාත් සුපිරි ඩීසල් රුපියල් 110 ක් දක්වාත්, භූමිතෙල් රුපියල් 65 ක් දක්වාත් රජය අඩුකිරීමට පියවර ගත්තේ මහා භාණ්ඩාගාරයට ඉන්ධන අලෙවිය මගින් ලැබෙමින් තිබූ දැවැන්ත බදු මුදල් ප්‍රමාණයක් යළිත් පාරිභෝගිකයා වෙත ප්‍රදානය කරමිනි.

    කෙසේවෙතත්, ආණ්ඩුව මේ වනවිට මුහුණදී තිබෙන අභියෝග හමුවේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් වැඩිවීම තවත් අහිතකර ලෙස බලපාන අතර පවතින මිලටම මෙරට පාරිභෝගිකයින්ට තවදුරටත් ඉන්ධන ලබාදීමට රජය විසින් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය වැඩිවන ප්‍රවණතාවයක් ඇත.

    ඉදිරියේදී පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට රජය අදහස් කර තිබෙන නිසා කෙටි කාලීනව මෙරට ඉන්ධන මිල ගණන් ලෝක වෙළඳ පොළේ මිල ගණන් වලට සාපේක්ෂව ඉහළ දමනු ඇතැයි විශ්වාස කළ නොහැකි වුවත් මහ මැතිවරණයෙන් පසුව මෙරට ඉන්ධන මිල ගණන් නිසැකවම ඉහළ නගිනු ඇතැයි වෙළඳ පොළ සිද්ධාන්ත අනුව සැලකීමේදී සඳහන් කළ හැකිය.