ග්‍රාමීය ව්‍යවසායකත්වය සහ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා SDB බැංකුව ජාතික ජල සම්පාදන මණ්ඩලය සමඟ එක්ව ‘නල ජල දියවර’ ණය පහසුකම හඳුන්වා දෙයි

    June, 7, 2021

    • නිවෙස්වලට සහ ව්‍යාපාර කටයුතු සඳහා නල ජල පහසුකම් ලබාගැනීමට විශේෂ ණය පහසුකම්

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකත්වය සවිබල ගැන්වීමේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වන SDB බැංකුව පසුගියදා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹෙමින් නිවෙස් වලට සහ ව්‍යාපාර කටයුතු සඳහා ජල පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන ජනතාවට රුපියල් 50000 සිට ඉහළට ණය මුදල් ලබා ගැනීමට හැකි නල ජල දියවර ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන්නේය. SDB බැංකුවේ පුද්ගලික ණය සහ ව්‍යවසායකයින් සඳහා වන දිවි සවිය ණය යෝජනා ක්‍රම හරහා මෙම ණය මුදල් ලබාගත හැකි අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වෙසෙන අයෙක්ට SDB බැංකුවේ ශාඛා 94 ක ජාලය හරහා මෙම ණය මුදල ලබා ගැනීමට හැකියාව ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ පාරිභෝගික බැංකු කටයුතු අංශයේ ප්‍රධානී තීක්ෂණ පණ්ඩිතසේකර මහතා මෙසේ පැවසීය “අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සහ ව්‍යවසාකත්වය සවිබල ගැන්වීම ජාතික ආර්ථිකයේ වර්ධනය සමඟ සෘජුවම සම්බන්ධ කාරණාවක්. ජල පහසුකම් ලබාගැනීමට හැකි වීම සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම මූලික අවශ්‍යතාවයක් නමුත් තවමත් මේ පහසුකම් ලබාගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයින් අති විශාල පිරිසක් සිටිනවා. ජනතාවට ඉතා සමීප, ඔවුන්ගේ අවශ්‍යතාවයන් සහ ඔවුන් මුහුණ දෙන අභියෝග හොඳින් හඳුනන බැංකුවක් වශයෙන් අපි මේ වෙනුවෙන් ඉදිරිපත් වීමට කටයුතු කළේ ඒ නිසායි. මේ හරහා දිවයින පුරා ජනතාගේ ජීවන තත්ත්වය හා ව්‍යවසායකත්වය ඉහළ නැංවීමට අපට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා”.

    SDB බැංකුව විසින් හඳුන්වා දුන් මෙම ණය පහසුකම යටතේ ඕනෑම අයෙක්ට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නල ජල පහසුකම ලබාගැනීම සඳහා දැරීමට සිදුවන වියදම ණය මුදලක් වශයෙන් ලබාගැනීමට හැකි වේ. ජල පහසුකම ලබාගැනීම හා සම්බන්ධ වන ඕනෑම වියදමක් ආවරණය කරගැනීම සඳහා මෙම ණය මුදල යොදා ගැනීමට පාරිභෝගිකයින්ට හැකි අතර ජල ටැංකි මිලදී ගැනීම,  නල එලීම සහ ඒ සම්බන්ධ අනෙකුත් වියදම්, නිවාසවල හා වැඩපොලවල නාන කාමර, මු`ඵතැන්ගෙයි අ`ඵත්වැඩියාවන්, කෘෂිකාර්මික කටයුතු ආදී වශයෙන් වන ඕනෑම කටයුත්තක් මීට අයත් වේ.

    නවීන බැංකුකරණ තාක්ෂණය ජනතාව අතරට ගෙන යාම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති SDB බැංකුව සිය UPay මොබයිල් ඇප් හරහා ජල බිල්පත් ගෙවන පාරිභෝගිකයින් හට විශේෂ වට්ටම් ලබා දීමටද කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම ණය ක්‍රමය යටතේ ණය ලබාගන්නා පළමු 1000 දෙනා හට සිය පළමු බිල්පත UPay ඇප් හරහා ගෙවන්නේ නම් ඒ වෙනුවෙන් විශේෂ වට්ටමක් හිමිවන අතර එය පාරිභෝගිකයාගේ SDB බැංකු ගිණුමට සෘජුවම බැර වනු ඇත. විශේෂයෙන්ම පවතින වසංගත තත්ත්වය යටතේ UPay ඇප් වැනි නව තාක්ෂණික ක්‍රමවේදයක් හරහා බැංකු කටයුතු තවතවත් පහසු කරවීම SDB බැංකුවේ අරමුණයි.

    SDB බැංකුව ග්‍රාමීය පදනම තුළ මුල්බැස ගත් බැංකුවක් වශයෙන් සු`ඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමට සහ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාවට සේවය සැළසීම සඳහා කැප වී සිටී. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ ඇති කරගත් මේ නව සහයෝගීතාවය හරහා සිය පාරිභෝගික ප්‍රජාවගේ ජීවිතවලට සාධනීය වෙනසක් එක් කිරීමට කටයුතු කිරීම SDB බැංකුවේ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ව්‍යාපාර ප්‍රවේශයට මනා උදාහරණයකි.

    මේ ණය පහසුකම පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් හට දිවයින පුරා පිහිටි SDB බැංකුවේ ශාඛා 94 න් ඕනෑම ශාඛාවකට පිවිස අවශ්‍ය තොරතුරු සහ සහය ලබාගත හැක.

    ඡායාරූපය - SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා (වමේ) ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා (මැද) සහ එම ආයතනයේ උප සභාපති නිමල් රණවක මහත්වරුන් (දකුණේ) අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් තබමින්.