ග්‍රාමීය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවන්ට සේවය සැලසීම සඳහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම RDB බැංකුව සමඟ බැංකු රක්ෂණ සහයෝගීතාවයකට එළඹෙයි

    January, 20, 2025

    HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය කාල සීමාව පුරා මෙරට ප්‍රමුඛතම බැංකු සමඟ ඇති කරගත් බැංකු රක්ෂණ එකඟතාවයන් අතරට තවත් වැදගත් සබඳතාවයක් එක් කරමින් පසුගියදා ප්‍රාදේශීය සංවර්ධන (RDB) බැංකුව සමඟද බැංකු රක්ෂණ එකඟතාවයකට මුල පිරීය. මෙම ක්‍රමෝපායික සබඳතාවය හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට RDB බැංකුවේ පුළුල් ග්‍රාමීය ගනුදෙනුකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාලයන්ට සිය නව්‍ය රක්ෂණ විසඳුම් පෙළ ඉදිරිපත් කිරීමට ප්‍රවේශය හිමි වනු ඇත. මෙම එකඟතාවයට අදාළව අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා සහ RDB බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා විසින් සිදු කෙරුණු අතර එම ආයතන දෙකෙහි ඉහළ කළමනාකාරීත්වයද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

    මෙම සහයෝගීතාවය හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් RDB බැංකුවේ පාරිභෝගිකයින් හට මෝටර් සහ මෝටර් නොවන රක්ෂණ විසඳුම් ලබා දෙනු ඇති අතර ග්‍රාමීය ගනුදෙනුකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඒ අතරින් ප්‍රමුඛ වේ. කෘෂිකර්මාන්තය, පශූ සම්පත් කළමනාකරණය, ධීවර කර්මාන්තය, සුළු කර්මාන්ත වැනි කර්මාන්ත අංශ වල නිරත ශ්‍රී ලාංකිකයින් නඟා සිටුවීම හරහා ආර්ථික සංවර්ධනය අත්පත් කරගැනීමේ RDB බැංකුවේ ඉලක්කය සපුරා ගැනීම සඳහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ දායකත්වය මෙම සහයෝගීතාවය හරහා හිමි වනු ඇත.

    HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය, “RDB බැංකුව විශේෂයෙන්ම ග්‍රාමීය ගනුදෙනුකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සමඟ ඇති සමීප සබඳතාවය සම්බන්ධයෙන් කීර්තියක් උසුලන බැංකුවක්. මෙම සහයෝගීතාවය හරහා අපට මේ පුළුල් පාරිභෝගික පිරිසට අපේ රක්ෂණ විසඳුම් ඉදිරිපත් කිරීමට හැකි වෙනවා. එනිසා මෙම සහයෝගීතාවය අප ආයතන දෙකම අපි සේවය කරන ප්‍රජාවන් වෙත උපරිම මෙහෙයක් සිදු කිරීමට ඇති අපේ කැපවීම තහවුරු කරන්නක් වශයෙන් හැඳින්විය හැකියි”.

    RDB බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය, “RDB බැංකුව වශයෙන් අපි අපේ ගනුදෙනුකරුවන්ට පරිපූර්ණ මූල්‍ය විසඳුම් ලබා දීමට කැප වී සිටිනවා. මෙම සහයෝගීතාවය හරහා අපේ ගනුදෙනුකරුවන්ට බැංකු සේවාවන් සමඟ උසස් සාමාන්‍ය රක්ෂණ සේවාවන්ද ලබා දීමට හැකි වීම අපට විශාල සතුටක්. විශේෂයෙන්ම අපේ ග්‍රාමීය ගනුදෙනුකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාලයට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ නව්‍ය රක්ෂණ සේවා පෙළ හරහා දැවැන්ත ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”.

    HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සහ RDB බැංකුව අතර නව බැංකු රක්ෂණ සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ අවවරප්‍රසාදිත ප්‍රජාවන් හට සේවය සැලසීම සඳහා ආයතන දෙකෙහිම ඇති කැපවීම තවදුරටත් තහවුරු කරන අතර ආයතන දෙකෙහිම ශක්‍යතාවයන් සහ ශක්තීන් ඒකාබද්ධ කිරීම හරහා මෙම ප්‍රජාවන්ට සේවය සැලසීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයටද සුවිසල් දායකත්වයක් දක්වනු ඇත.