ගුරුගේ වැඩිහිටි සුරැකුම් සමාගමෙන් වැඩිහිටියන් 200ක් එක්වූ අවුරුදු උත්සවයක්

    May, 16, 2023

    ගුරුගේ වැඩිහිටි සුරැකුම් පෞද්ගලික සමාගම බෝකුන්දර ජාලියගොඩ සිංහ සමාජයේ දායකත්වය ඇතිව සංවිධානය කළ සිංහ වසන්ත උදානය 2023 බක්මහ සැණකෙළිය පසුගියදා ගුරුගේ ආයතනයේ පානදුර පිංවත්ත ශාඛාවේදී පැවැත්විණි. ඒ සඳහා ගුරුගේ ආයතනයේ ශාඛා පහක් හා පිංවත්ත ආලෝකා වැඩිහිටි නිවාසය නියෝජනය කරමින් වැඩිහිටියන් හා සේවකයන් ඇතුලු‍ 200ක පමණ පිරිසක් සහභාගී වූහ. පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලාධිපති බස්නාහිර පළාත් අධිකරණ සංඝනායක පානදුර විජිතනන්ද හිමියන් පිරිස පංචශීලයෙහි පිහිටවූ අතර පානදුර ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ හා ආරාධිතයන්ගේ සුරතින් උත්සවයේ සමාරම්භය සනිටුහන් විය.

    පියල් ගුරුගේ මහතා පාලනය කරන ආලෝකා වැඩිහිටි නිවාසයේ හා සමිත ගුරුගේ මහතා පාලනය කරන ගුරුගේ වැඩිහිටි සුරැකුම් ශාඛා ජාලයේ වැඩිහිටියන් රැක බලා ගැනීමේ සමාජ මෙහෙවරේ කොටසක් ලෙස වැඩිහිටියන්ගේ මානසික සුවය උදෙසා නිරන්තරයෙන් මෙවැනි කටයුතු සිදු කරයි. වැඩිහිටියන්ගේ විනෝදාස්වාදය හා කුසලතා ආවර්ජනය කිරීම වෙනුවෙන් ආරක්ෂාකාරීව සියලු‍ තරග සංවිධානය කර තිබූ අතර නීල් ප්‍රමුඛ Sparrows සංගීත කණ්ඩායම දවස පුරා සංගීතය සැපයීය. පැමිණි සියලු‍ දෙනාට උදෑසන අවුරුදු කෑම මේසයක් සහ දිවා ආහාරය සූදානම් කර තිබිණි. වැඩිහිටියන් අතර වටිනා තෑගි බෝග බෙදා දුන් අතර ජයග්‍රාහී සිනා මුසු මුහුණෙන් සියලු‍ වැඩිහිටියෝ දවස නිම කළහ.