ගුවන් ගමන් වර්ධනය වීම හමුවේ එමිරේට්ස් A380 ජාලය පුළුල් කරයි

    September, 28, 2021

    ලෝකය පුරා ගමන් සීමාවන් ලිහිල් වීම හමුවේ එමිරේට්ස් ගුවන් සමාගම විසින් ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල සිට සිය ගමනාන්ත රාශියක් සඳහා පුළුල් බඳ සහිත සුවිශාල A380 ගුවන් යානා නැවත වතාවක් යොදවන බව නිවේදනය කර තිබේ. මේ වනවිට එමිරේට්ස් විසින් A380 සේවා සපයන නගර 16 ක සංඛ්‍යාව නොවැම්බර් අවසානය වනවිට 27 ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් එය 65% කට වැඩි වර්ධනයක් වනු ඇති බව එමිරේට්ස් සඳහන් කරයි.

    සුවිශාල ඉඩකඩක් තිබෙන අති නවීන සහ සුවපහසු එමිරේට්ස් A380 ගුවන් යානාවල ගමන් කරමින් තමන්ගේ ගුවන් ගමන අමතක නොවන අත්දැකීමක් බවට පත්කර ගැනීමට බොහෝ ගුවන් මගීන් කැමැත්තක් දක්වයි. මේ අනුව, කොවිඞ්-19 වසංගතයෙන් පසුව සංචාරක ගමන් කර්මාන්තය යළිත් වර්ධනය වීම හමුවේ ක‍්‍රමානුකූලව සහ වගකීමකින් යුතුව සමාගම විසින් මෙම ගුවන් යානා පියාසර කටයුතු සඳහා යළිත් එක්කරන බව සමාගම විසින් සඳහන් කර තිබේ. එමිරේට්ස් විසින් නොවැම්බර් මාසය වනවිට A380 ගමනාන්ත ප‍්‍රමාණය 11 කින් වැඩි කිරීමට අමතරව වඩාත් ප‍්‍රචලිත ගමනාන්ත සඳහා A380 ආසන 165,000 ක් පමණ අමතරව ලබාදීමටද සැලසුම් කර ඇත.

    වාණිජ ශක්‍යතාවයක් තිබෙන ගමනාන්ත සඳහා ඉදිරියේදී A380 ගුවන් යානා යළි යෙදවීම තුළින් ඉතාමත් ඉක්මනින් පුළුල් බඳ සහිත තට්ටු දෙකේ A380 ගුවන් යානවල සංචාරය කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට ඒ සඳහා අවස්ථාව හිමිවන බව සමාගම සඳහන් කරයි. මේ අනුව, සමාගම පවසන්නේ ඉදිරි සති හය තුළදී ඇම්ස්ටර්ඩෑම්, බාර්සිලෝනා, ඩුසෙල්ඩෝර්ෆ්, හැම්බර්ග්, ජොහැන්නෙස්බර්ග්, මැඞ්රිඞ්, මිලාන්, රියාඞ් (රජයේ අනුමැතිය සහිතව) සඕ පවුලෝ සහ සූරික් වැනි සුප‍්‍රසිද්ධ සංචාරක සහ ව්‍යාපාරික ගමනාන්ත සඳහා එමිරේට්ස් විසින් සිය A380 සේවා යළිත් ආරම්භ කරනු ඇති බවයි.

    මීට අමතරව, එමිරේට්ස් විසින් මීට පෙර A380 සේවා ලබා නොදුන් නව ගමනාන්තයක් ඉදිරියේදී A380 ගමනාන්ත ජාලයට එක්කර ගනු ඇති බවද සමාගම සඳහන් කරයි. මේ අනුව, ඉතිහාසයේ පළමු වතාවට තුර්කියට පළමු A380ගුවන් සේවා ආරම්භ කරමින් ඔක්තෝම්බර් 01 වනදා සිට ඉස්තාන්බුල් නගරයට A380 ගුවන් ගමන් ආරම්භ කිරීමට සමාගම සැලසුම් කර ඇත.

    ලෝකයේ විශාලතම A380 ගුවන් යානා ඇණිය හිමි එමිරේට්ස් ගුවන් සමාගමේ සමස්ත A380 ගුවන් යානා ඇණිය මේ වසර අවසන් වනවිට 118 ක් දක්වා වර්ධනය වනු ඇතිබව සමාගම සඳහන් කරයි. එමිරේට්ස් මේ වනවිට ගමනාන්ත 120 කට වැඩි ප‍්‍රමාණයකට ගුවන් ගමන් සිදුකරන අතර එය කොවිඞ්-19 වසංගතයට පෙර සමාගම ගුවන් ගමන් සිදුකළ ගමනාන්ත වලින් 90% ක ප‍්‍රමාණයකි. එසේම, වසර අවසන් වනවිට A380  යානා 50ක් සේවයට යොදවමින් එමිරේට්ස් ධාරිතාවයෙන් 70% ක පමණ ප‍්‍රමාණයක් යළි යථාතත්ත්වයට පත්කිරීමට සමාගම සැලසුම් කර ඇත.