ගෝඨාගෙන් ඇරඹුණු ලංකා හොස්පිට්ල්ස් පුටු පෙරළියේ අළුත්ම පිටුව -ලකිත් පීරිස් හේමාස් පිළට එක්වෙයි

    February, 21, 2015

    නව රජය බලයට පත්වීමෙන් පසුව මුදල් අමාත්‍යංශය යටතට වැටෙන ලංකා හොස්පිට්ල්ස් හි, ප්‍රධාන තනතුරු සියල්ලම පාහේ වෙනස් වෙමින් තිබෙන අතර දිගු කාලයක් මෙහි ප්‍රධාන විධායක ධූරය දැරූ ලකිත් පීරිස් මහතා ඉන් ඉවත්ව හේමාස් හොස්පිට්ල්ස් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස වැඩභාර ගැනීමට සූදානම් වනබව අනාවරණය වේ.

    එළඹෙන මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා හොස්පිට්ල්ස් ප්‍රධාන විධායක නිළධාරී ධූරයෙන් ඉල්ලා අස්වන බව ලකිත් පීරිස් මහතා කොළඹ කොටස් වෙළඳ පොළට පසුගියදා දැනුම් දී තිබුණි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ අප සමග පැවසුවේ ලංකා හොස්පිට්ල්ස් හි, නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සරත් පරණවිතාන මහතා පත්කළ බවයි. වෛද්‍ය සරත් පරණවිතාන මහතා සීලයින් සමාගම් සමූහයට අයත් Ceymed Healthcare Services (Pvt) Ltd සමාගමේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරන බව එම රෝහලට අයත් වෙබ් අඩවියේ දැක්වේ.

    මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ නියෝජ්‍ය ලේකම් කීනියාවල පාලිත හිමි, දිලානි ලොකුහෙට්ටි ඇතුළු 13 දෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක්ද ලංකා හොස්පිට්ල්ස් සඳහා නම්කර තිබෙන බවත් ඉදිරි දින කිහිපයේදී එම අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කළ හැකි බවයි.

    ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික රෝහලක් වන ලංකා හොස්පිට්ල්ස් 2002 වසරේදී ආරම්භ වන්නේ චෙන්නායි පදනම් කරගත් ඇපලෝ රෝහල් සමාගමේ ආයෝජනයෙන් ඇපලෝ රෝහල ලෙස රජයට අයත් නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ඉඩමකයි.

    පසුව, ඇපලෝ රෝහල අයත්වූ ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් සමාගමේ සියයයට 30 ක කොටස් ඉන්දියානු ඇපලෝ රෝහල් සමාගම විසින් 2006 වසරේදී  සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා නායකත්වය දුන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් මිලියන 1,456 කට විකුණා දැමීය. සුළු කොටස් හිමියන් දෙදෙනෙකුද තමන් සතුවූ සියයට 09 කට ආසන්න කොටස් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට විකුණූ අතර ලංකා හොස්පිට්ල්ස් හි, ස්ටැසන්ස් සමාගම් සමූහයේ සමාගම් වලට අයත් වූ කොටස් ප්‍රමාණය මේ සමග සියයට 80 ඉක්මවීය.

    මෙහිදී, කැපී පෙනෙන කාරණයක් වන්නේ ඇපලෝ රෝහල් සමූහය විසින් මෙම කොටස් විකිණීම සිදුකර ව්‍යාපාරයෙන් ඉවත් වන්නේ මෙම රෝහල අලාභ ලබමින් තිබෙන අවධියක වීමයි. ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ 2006 ජුනි කාර්තුවේදී මෙම රෝහල රුපියල් මිලියන 14.3 ක අලාභයක් ලබා තිබෙන බවයි.

    2009 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ ගනුදෙනුව අවලංගු කර එම කොටස් මුදල් අමාත්‍යංශය යටතට පත්කිරීම හමුවේ ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් සමාගමේ රක්ෂණ සංස්ථාවට හිමිවූ කොටස්වල අයිතිය රජයට හිමිවිය.

    මේ සමගම මෙම රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර එවක ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කළ අතර ඔහුගේ නායකත්වයෙන් මෙම රෝහල ලාභ ලබන රෝහලක් බවට පත්කිරීම කැපී පෙනෙන කාරණාවකි. අනාවරණය වන ආකාරයට ඔහු මෙම තනතුර වෙනුවෙන් වේතනයක්ද ලබාගෙන නොමැත.

    ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ලංකා හොස්පිට්ල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයේ ආර්.එස්. කබ්රාල් මහත්මිය, විද්‍යාජෝති මහාචාර්ය දයාසිරි ප්‍රනාන්දු, ගාමිණී වික්‍රමසිංහ, පී.ඒ.ලයනල්, මල්වින්ඩර් මොහාන් සින්ග්, ෂිවින්ඩර් මොහාන් සින්ග්, සුනිල් ගොඩ්වානි, බන්දුල විජේසිරිවර්ධන, නිහාල් ජයතිලක, කණිෂ්ක කරුණාරත්න යන අය කටයුතු කළේය.

    මෙම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉන්දීය ජාතිකයින් තුන් දෙනෙකු පත්ව තිබෙන්නේ ලංකා හොස්පිට්ල්ස් හි සියයට 28.6 ක් වන ඩිස්ටිලරීස් කෝපරේෂන් සතු කොටස් ප්‍රමාණය ඉන්දියාවේ ප්‍රමුඛතම රෝහල් සමූහයක් වන Fortis Healthcare සමාගම විසින් මිලදී ගැනීමෙන් පසුව එම කොටස් හිමිකම නියෝජනය කිරීම සඳහායි.

    ලංකා හොස්පිට්ල්ස් සඳහා නව රජය විසින් පත්කර තිබෙන 13 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයට Fortis Healthcare සමාගම නියෝජනය කරමින් පත්කර තිබෙන අධ්‍යක්ෂවරුන් ප්‍රමාණය කොපමණදැයි තවමත් අනාවරණය නොවේ.

    රෝහලේ ව්‍යවස්ථාවට අනුව Fortis Healthcare නියෝජනය කිරීම සඳහා අධ්‍යක්ෂවරු තිදෙනකු පත්කිරීම අනිවාර්ය නොවන අතර එයට වඩා අඩු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ප්‍රමාණයක් වුවද ඔවුන් වෙනුවෙන් පත්කළ හැකිය.

    මේ වනවිට, ලංකා හොස්පිට්ල්ස්හි කොටස් වලින් සියයට 55 ක් පමණ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් වන අතර සියයට 10 ක් පමණ අයත් වන්නේ ලංකා බැංකුවටයි.

    සියයට 28 ක් පමණ ඉන්දියානු Fortis Healthcare සමාගමට අයත් වන අතර ඉතිරි සියයට 8 ක පමණ ප්‍රමාණය කොළඹ කොටස් වෙළඳ පොළ හරහා කොටස් කරුවන්ට අයත් වේ.

    මේ අනුව, කොළඹ කොටස් වෙළඳ පොළ හරහා ලංකා හොස්පිට්ල්ස් හි, කොටස් හිමි කොටස්කරුවන් 8500 ක් පමණ සිටී.

    ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපති ධූරය දැරූ 2014 සැප්තැම්බර් 30 අවසන් වන කාර්තුවේදී ලංකා හොස්පිට්ල්ස් සමූහය සතු සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 5.4 ක් වන අතර එම කාර්තුවේදී ලබා තිබෙන ලාභය රුපියල් මිලියන 57 කි.

    2014 මුල් මාස 09 තුළදී ලංකා හොස්පිට්ස්ල් සමූහය විසින් රුපියල් මිලියන 269 ක ලාභයක් වාර්තා කර තිබීමද කැපී පෙනේ.