ගෝලීය සෞඛ්‍ය සේවා වෘත්තීන් සඳහා දොරටු විවර කරමින් ආසිරි හෙල්ත් විසින් නව සෞඛ්‍ය විද්‍යා ඇකඩමියක් ආරම්හ කරයි

    October, 9, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහල් ජාලය මෙන්ම රෝග විනිශ්චය පහසුකම් ජාලය වන ආසිරි හෙල්ත් විසින් නව ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය (AAHS) අභිමානයෙන් යුතුව හදුන්වාදෙනු ලබන්නේ තරුණ තරුණියන්ට දැරිය හැකි මිලකට ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය සේවා සුදුසුකම් සඳහා ප්‍රවේශය ලබා දීමට මුල පිරීමක් වශයෙනි.

    ආසිරි හෙල්ත්, ඕස්ට්‍රේලියාවේ Wollongong විශ්ව විද්‍යාලයේ මැලේසියානු මණ්ඩපය සමග හවුල් වෙමින් තරුණ තරුණියන්ට මේ හරහා ගෝලීය වශයෙන් වැඩිම ඉල්ලුමක් ඇති සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතරට එකතු වීමට අවස්ථාව සලසා දී තිබේ.

    ගෞරවනීය ගෝලීය සෞඛ්‍ය සහ මානුෂීය සංවිධානයක් වන Project HOPE හි මෑත වාර්තාවක සඳහන් වන්නේ 2030 වන විට සමස්ත ගෝලීය ජනගහනයේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝකයට සෞඛ්‍ය සේවකයින් මිලියන 80 ක් අවශ්‍ය වන බවයි. එම ඉහළ ඉල්ලුම තුළින් තවදුරටත් ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා වෘත්තීන් ගොඩනැගීමේ අවස්ථා ඉස්මතු වනු ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ හෙද හෙදියන් බොහෝ විට ශ්‍රී ලංකා හෙද කවුන්සිලයේ ලියාපදිංචිය ලබා නොගැනීමේ පසුබිමක්ද පවතී. AAHS විසින් විවර කරන ලද මෙම නව මාවත මගින් හෙද සිසුන්ට මැලේසියාවේ ලියාපදිංචිය ලැබෙනු ඇත. එමෙන්ම මේ හරහා අනෙකුත් රටවල් සඳහාද රැකියා මාර්ග ජනනය කිරීමේ හැකියාව පවතී.

    මෙම පියවර සම්බන්ධයෙන් මහත් උද්යෝගයකින් පසුවන ආසිරි හෙල්ත් හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ ඇතුළු මෙම කලාපයේ තරුණ තරුණියන්ට ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දීම සඳහා මෙම වසරේ ආසිරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය AAHS ආරම්භ කරන ලද බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ටත්, විශේෂයෙන්ම හෙදියන්ටත් ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, දැරිය හැකි මිලකට ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශය සලසා දීම ඔවුන්ගේ අරමුණ බවයි.

    ඔහු තවදුරටත් පවසා සිටියේ, මෙම වසරේදී ඔවුන් විසින් ඕස්ට්‍රේලියාවේ Wollongong විශ්ව විද්‍යාලයේ මැලේසියානු මණ්ඩපය විසින් ඉදිරිපත් කරනු ලබන සෞඛ්‍ය විද්‍යා වැඩසටහන පිළිබඳ මූලික පදනම හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවයි. ඉහළ ශ්‍රේණිගත විශ්ව විද්‍යාලයක් වන Wollongong විශ්වවිද්‍යාලය ලොව පුරා විශ්ව විද්‍යාල වලින් ඉහළම ශ්‍රේණිගත විශ්වවිද්‍යාල 1% තුළට ඇතුළත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම නුදුරේදීම, පුළුල් පරාසයක විසිර සිටින සිසුන් සහ වෘත්තිකයන් සඳහා පහසුකම් සලසමින් මනෝවිද්‍යාව සහ සෞඛ්‍ය ආරක්ෂණ කළමනාකරණය පිළිබඳ වැඩසටහන් ඇතුළත් සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය විදේශීය සුදුසුකම් සපුරනු ලබන තවත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කරන ලදි.

    මූලික සෞඛ්‍ය විද්‍යාවන් සහ ආයතනික කුසලතා හඳුන්වා දෙන අධ්‍යයන පාඨමාලාවක් ලෙස සෞඛ්‍ය විද්‍යා වැඩසටහනේ මාස 8ක පදනම හැදෑරීමට AAHS විසින් අවස්ථාව සලසා දෙයි. මෙම මූලික පදනම් පාඨමාලාව හරහා ඩිප්ලෝමා වැඩසටහන සඳහා ඉඩහසර විවර වනු ඇත. එම පදනම් වැඩසටහන සම්පූර්ණ කරන සිසුන්ට ඔවුන්ගේ ඩිප්ලෝමාව ලබා ගැනීම සඳහා මැලේසියානු මණ්ඩපයට මාරු වීමටද අවස්ථාව සැලසෙනු ඇත. තම සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව නිම කර ඇති හෝ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට සුදුසුකම් ලැබේ.

    අවුරුදු 3ක ඩිප්ලෝමා වැඩසටහනට ඇතුළත් වන සිසුන් හට ඕස්ට්‍රේලියාවේ Wollongong විශ්ව විද්‍යාලයට විසින් පිළිගත් මැලේසියානු මණ්ඩපය හරහා හෙද, භෞතචිකිත්සාව, සහ සෞඛ්‍ය සේවා වැනි ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රවලින් එකක් තෝරා ගත හැක. ඔවුන්ගේ අධ්‍යයන කටයුතු අවසන් වූ පසු එම සිසුන්ට Wollongong විශ්ව විද්‍යාලය විසින් නිකුත් කරන ලද ඕස්ට්‍රේලියානු ඩිප්ලෝමා සහතිකයක් පිරිනමනු ලබයි. මීට අමතරව, හෙද හෝ භෞත චිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමාවක් සම්පූර්ණ කරන සිසුන් මැලේසියාවේ දේශීය ලියාපදිංචිය සඳහා අයදුම් කිරීමටද සුදුසුකම් ලබයි. ඩිප්ලෝමා වැඩසටහන සඳහා ඇතුළත් වීමේ අවශ්‍යතාවයන් ඔවුන් විසින් විශේෂත්වය ලබා දුන් තේරීම මත පදනම් වනු ඇත.

    විශ්වාසනීය නායකත්වය සහ කැපවීම තුළින් හෙද පුහුණු පාසල් වැනි අධ්‍යාපනික ප්‍රයත්නයන් දරමින් දශක හතරක් පුරා ආසිරි හෙල්ත් පැමිණි සෞඛ්‍ය සේවා සැපයීමේ ගමනේ මීලඟ පියවර ලෙස AAHS හදුන්වා දිය හැකිය.  එහි මූලික පියවර වශයෙන් AAHS බස්නාහිර සහ මධ්‍යම පළාත් ආවරණය වන පරිදි කොළඹ සහ මහනුවර අධ්‍යාපන මධ්‍යස්ථාන හරහා අධ්‍යාපන සේවා සැපයීම ආරම්භ කරන අතර 2024 වන විට එය ගාල්ල දක්වා ව්‍යාප්ත කිරීමටද බලාපොරොත්තු වේ.

    අද වන විට AAHS ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා වෘත්තීන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන සිසුන් සඳහා සුවිශේෂී මංපෙත් විවර කර ඇත. එමෙන්ම,  ලොව පුරා ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍ර ලෙස පිළිගෙන ඇති හෙද හා භෞතචිකිත්සාව යන ක්ෂේත්‍රයන් සඳහා ලියාපදිංචි වන සිසුන්ට මැලේසියාව විසින් වටිනා සහතික පත්‍රයක් පිරිනැමීමෙන් නොනැවතී වෙනත් රටවල රැකියා අවස්ථා හඹා යාමට ද ඔවුන්ට අවස්ථාව සලසා දෙයි.  මීට අමතරව, සෞඛ්‍ය සේවා පිළිබඳ බහුකාර්ය ඩිප්ලෝමාව රෝහල් කළමනාකරණයේ විවිධ භූමිකාවන් සඳහා මග පාදමින් සැලකිය යුතු ලෙස වෘත්තීය අවස්ථාවන් සඳහා ඉඩහසර පුළුල් කරයි.