‘චාන්ස් එක මිස් කළා‘ – මහ බැංකුව කියයි

    August, 29, 2023

    දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය හරහා සේවක අර්ථසාධක අරමුදලට එල්ලවන බලපෑමට විරෝධය දක්වමින් උද්ඝෝෂණයක් ඊයේ (28) කොළඹ දී පැවැත්විණි. එහිදී විරෝධතාවයේ නිරත වූ පිරිසට සාකච්ඡාවක් ලබා දීමට මහ බැංකුව එකඟ වූ බවත්, කෙසේවෙතත් ඔවුන් ඊට සහභාගි විය නොහැකි බවට දන්වා තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ

    2023 අගෝස්තු මස 28 වන ඊයේ දින, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන්නන් ලෙස දක්වමින් යම් පිරිසක් විසින් දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළින් සේවක අර්ථසාධක අරමුදලට සිදු වන්නේ යැයි කියනු ලබන බලපෑමට විරෝධය පාමින් පවත්වන ලද උද්ඝෝෂණය අතරතුර, ඔවුන් විසින් කොටුව පොලීසිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටින ලදී.

    එම ඉල්ලීමට එකඟ වෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් එදිනම පස්වරු 2.30 ට එම පිරිස නියෝජනය කරමින් පස්දෙනෙකුට එම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණෙන ලෙස කොටුව පොලීසියේ නිලධාරීන් මඟින් දැනුම් දෙන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාකච්ඡාව ලබාදීමෙන් පසුව එම පිරිස විසින් ‍කොටුව පොලීසියේ නිලධාරීන් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව ‍වෙත දන්වා සිටින ලද්දේ ඊයේ (28) දින එම සාකච්ඡාව සඳහා ඔවුන්ට සහභාගි විය නොහැකි බවයි.

    ඒ අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සහ ඒ තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ දැනට පවතින ශේෂය සුරක්ෂිත වන්නේ කෙසේද, සහ ඉදිරි වසර කිහිපය තුළ අවම වශයෙන් පසුගිය වසරවලදී ලබා දුන් ප්‍රතිලාභ දේශීය ණය ප්‍රශස්තකරණය තුළින්ද ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබූ පිරිසට ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් කරුණු පැහැදිලි කරගැනීමට තිබුණු අවස්ථාව මඟ හැරිණි.