චීන ස්මාර්ට් ෆෝන් සමාගමක් අධිබලැති ඉලෙක්ට්‍රික් කාරයක් නිපදවයි

    December, 29, 2023

    ලොව ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක් වන චීනයේ Xiaomi විසින් පළමු වරට මෝටර්රථ කර්මාන්තය වෙත සිය ප්‍රවේශය සනිටුහන් කරමින් එහි පළමු ඉලෙක්ට්‍රික් ම‌ෝටර් රථය ඊයේ (28) දින එළිදක්වන ලදී.

    Xiaomi SU7 ලෙසින් නම් කර ඇති මෙම රථය සඳහා Speed Ultra යන යෙදුම කෙටි කර SU7 යන නාමය තබා ඇත.

    Tesla සහ Porsche ඉලෙක්ට්‍රික් කාර්රථවලට වඩා වේගවත් ත්වරණ වේගයක් (acceleration speeds) ලබා දීමට Xiaomi SU7 සමත් බව එය එළිදක්වමින් Xiaomi ප්‍රධාන විධායක Lei Jun සඳහන් කරයි.

    මෝටර් රථ කර්මාන්තයට පිවිසීමත් සමඟ ඉදිරි වසර 15-20 ක කාලය අතරතුර ලොව හොඳම මෝටර් රථ නිෂ්පාදකයින් 5 දෙනා අතරට එක්වීම තම ඉලක්කය බව ද ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.

    Xiaomi හි ජනප්‍රිය දුරකථන සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග සමඟ බෙදාගත් මෙහෙයුම් පද්ධතිය හේතුවෙන් SU7 පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට ද අපේක්ෂා කෙරේ. එහි රියදුරන්ට සමාගමේ පවතින ජංගම යෙදුම් කළඹට බාධාවකින් තොරව ප්‍රවේශය සඳහා අවස්ථාව හිමිවනු ඇත.‍