ජගත් පරිසර දිනය සමරමින් HNB FINANCE දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් දියත් කරයි

    June, 21, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ජගත් පරිසර දිනය සමරමින් දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදි. පරිසර සංරක්ෂණය කෙරෙහි සමාගම සතු කැපවීම සහ ආයතනික සමාජ වගකීම පෙරදැරිව ශ්‍රී ලංකාවේ කාබන් විමෝචනය අවම කිරීමේ සාධනීය හා ඵලදායී පියවරක් ලෙසත් අනාගත පරපුර සඳහා දිගු කාලීන ප්‍රතිලාභ ලබා දෙන වැඩසටහනක් ලෙසත් HNB FINANCE දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන හඳුන්වා දිය හැක.

    මෙම වැඩසටහනෙහි තවත් විශේෂත්වයක් නම්, මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වූයේ  මූල්‍ය සමාගම් සංසදයේ (Financial Houses Association-FHA) 65වන සංවත්සරයට සමගාමීව එම සංගමයට අයත් සාමාජික සමාගම් විසින් ශ්‍රී ලංකාවේ කාබන් විමෝචනය අවම කරමින් තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා පහසුකම් සලසන දැවැන්ත රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති පසුබිමක් තුළ ඊට සමගාමීවය.

    මෙම වැඩසටහන පිලිබඳව අදහස් දක්වන HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “ තිරසාර පරිසරයක් සහ ධරණීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වූ අපගේ කැපවීම පිළිඹිබු වන මෙම දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන දියත් කිරීමට හැකි වීම පිළිබඳව වගකීම් සහගත සමාගමක් ලෙස අප බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙම වෑයමෙහි එක් ප්‍රමුඛතම අරමුණක් අනාගත පරපුර සඳහා හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමයි. සාමූහික ප්‍රයත්නයකින් සහ සියලු පාර්ශ්වයන්ගේ සහායෙන් දියත් කෙරෙන මෙම පුංචි උත්සාහය, මෙරට දේශගුණික විපර්යාස ගැටලුව විසඳීම සඳහා වන සාධනීය පියවරක් වන අතරම ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමේ මාර්ගයක් ද වනු ඇති බව මගේ අදහසයි. එමෙන්ම පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීම සඳහා HNB FINANCE විසින් ගෙන ඇති පියවර සෙසු ආයතනයන්ට ආදර්ශයක් සපයන අතරම මේ වැඩසටහන සමග අත්වැල් බැඳ ගැනීමට ඒ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා” යනුවෙන් පැවසීය.

    මී, කුඹුක්, නා, කරඳ, කොහොඹ, ඇහැල, කොස්, අඹ, සියඹලා, කජු, අලිගැටපේර, මාදං, තේක්ක, හල්මිල්ල, පලූ, මාර සහ නැදුන් ආදී විවිධ ශාක වර්ග අතරින් විශේෂයෙන් තෝරාගත් පැළ 9,500ක් සිටුවීමෙන් HNB FINANCE ආයතනය මේ කාර්යයට දායක විය. ජෛව විවිධත්වය වැඩි දියුණු කිරීම, පරිසර පද්ධති ශක්තිමත් කිරීම සහ පාරිසරික ප‍්‍රතිලාභ රැසක් ලබා දීම සඳහා මෙම ශාඛ විශේෂයන් ප‍්‍රවේශමෙන් තෝරාගෙන ඇත. පාංශු ඛාදනය අවම කිරීම සහ ස්වාභාවික පෙරීමේ පද්ධතියක් හරහා පසෙහි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මගින් ගංවතුරේ බරපතලකම අවම කිරීම සහ පරිසර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. එය දේශගුණික විපර්යාසවල දැඩි බලපෑම් අවම කිරීම සහ වාතයේ කාබන් ප්‍රතිශතය අවම කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එමඟින් තිරසාර අනාගතයක බලාපොරොත්තු දැල්වෙනු ඇත.

    HNB FINANCE හි මෙම තිරසාර සමාජ වගකීම් ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය සහතික කිරීමේ තවත් ප‍්‍රයත්නයක් ලෙස, ආයතනය විසින් තෝරා ගන්නා ලද ප‍්‍රදේශවල පාසල්, ආගමික කණ්ඩායම් සහ ත්‍රිවිධ හමුදාව වැනි ආයතන සමඟ එක්ව කටයුතු කරනු ඇත. ජාතියේ අනාගත නායකයින් වන දරුවන් අතර සංස්කෘතික තිරසාරබව ඇති කිරීමට සහ පාරිසරික දැනුවත්භාවය පෝෂණය කිරීමට මෙමගින් විශාල අනුබලයක් ලබා දෙනු ඇත. පැළ සිටුවීමෙන් ඔබ්බට යමින් HNB FINANCE විසින් රෝපණය කරන ලද ශාඛයන්ගේ නඩත්තුව සහ වර්ධනය පිළිබඳව පසු විපරම් කරමින් තම ව්‍යාපෘතියේ දිගුකාලීන ප්‍රතිලාභ සඳහා පූර්ණ වශයෙන් කැපවී සිටී. මෙම ව්‍යෘපෘතිය මගින් පරිසර ආරක්ෂණයට සහය ලබා දෙනවා පමණක් නොව ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ගේ ආර්ථික යහපැවැත්මට දායක වෙමින් පැල තවාන් සහ ඒ ආශ‍්‍රිත කර්මාන්තවල නියැලී සිටින කුඩා ව්‍යාපාර ව්‍යවසායකයින්ගේ ජීවනෝපාය නංවාලීමට ද අවශ්‍ය පසුබිම සකසනු ඇත.

    හරිතවත් සහ වඩාත් තිරසාර ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනෙකුත් සංවිධාන, ගනුදෙනුකරුවන්, සේවකයින් සහ පුළුල් ප‍්‍රජාව පෙළඹවීම සහ බලමුළු ගැන්වීම HNB FINANCE හි අරමුණවේ.