April, 29, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසි නවතම සමාගම වන ජනශක්ති ලිමිටඩ් හි ද්වීතියික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (29) පෙරවරුවේ දී ආරම්භ විය.
ඒ වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කිරීමේ සම්ප්‍රදායික සීනුව නාද කිරීමේ ඉසව්වක් සංවිධානය කර තිබූ අතර ඊට ජනශක්ති සමූහයේ නිර්මාතෘ චන්ද්‍රා ෂාෆ්ටර්, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ කොළඹ කොටස් වෙළෙඳපොළ එක්ව සිටියහ.
මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) හරහා කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසි ජනශක්ති ලිමිටඩ්, මූලික මහජන කොටස් නිකුතුවේ දී කොටස් මිලියන 500ක් එකක් රු. 10 බැගින් නිකුත් කිරීමට පියවර ගත්තේය.
ඒ අනුව මූලික මහජන කොටස් නිකුතුව හරහා රු. බිලියන 5ක අරමුදලක් සම්පාදනය කර ගැනීමට ජනශක්ති ලිමිටඩ් සමත් වූ අතර නිකුතුව විවෘත කළ පළමු දිනයේ දීම, පැවති අධිදායකත්වය හේතුවෙන් එය වසා දැමීමට කටයුතු කෙරිණි. පසුව සමාගම අනාවරණය කළේ නිකුත් කිරීමට සැලසුම් කළ කොටස් ප්‍රමාණය මෙන් තුන් ගුණයක අයදුම්පත් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් ලැබී තිබුණු බවයි.
මේ අතර මූලික මහජන කොටස් නිකුතුවේ දී නිකුත් කෙරුණු කොටස් ද ඇතුළුව ජනශක්ති ලිමිටඩ් සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් බිලියන 2.3ක් අද දින කොටස් වෙළෙඳපොළ ප්‍රධාන පුවරුවෙහි ලැයිස්තුගත කරන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීම් අංශය දන්වා සිටියේය.
රු. 10 බැගින් මූලික මහජන කොටස් නිකුතුවේ දී නිකුත් කෙරුණු අද ද්විතීයික වෙළෙඳපොළේ දී රු. 13.80 සිට රු. 15.50 දක්වා මිල ගණන්වලට ගනුදෙනු වනු දක්නට ලැබුණි.
ජනශක්ති ලයිෆ්, ෆස්ට් කැපිටල් සහ ජනශක්ති ෆිනෑන්ස්, ජනශක්ති ලිමිටඩ් හි ප්‍රධානතම අනුබද්ධිත සමාගම් වේ.
Video Story