ජාතික පිළිකා ආයතනයට ආධාර පිණිස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘Call to Donate’ ව්‍යාපෘතිය දියත් කරයි

    November, 2, 2015

    ඕනෑම රක්ෂණ දැන්වීමක් විගස 1357 වෙත ලබාදෙන සෑම මඟ හැරුණු ඇමතුමක් සඳහාම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් රුපියල් 10 බැගින් මහරගම ජාතික පිළිකා රෝහලේ ළමා පිළිකාවේදී ඒකකයට

    මෙරට වත්මන් පරපුර මෙන්ම අනාගත පරපුරද සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවරට උරදී සිටින ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මේ වනවිට ජාතික පිළිකා ආයතනයට ආධාර පිණිස ‘Call to Donate’ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2015 ඔක්තෝබර් 28 වැනි දින දියත් කරන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ පිළිකා රෝග තත්ත්ව වැළඳුණු දරුවන්ට උපකාර වනු පිණිස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය සමග අත්වැල් බැඳගනීමට ශ‍්‍රී ලාංකිකයන් යොමුකරවීමයි.

    ‘මගහැරුණු ඇමතුම්’ (Missed calls) පදනම් කරගත් ක‍්‍රමයක් මගින් මහරගම ජාතික පිළිකා ආයතනයේ ළමා පිළිකාවේදී ඒකකයට ආධාර රැස් කිරීම මෙහි මූලික ඉලක්කය වී තිබේ. මෙහිදී ජනතාව කළ යුතු වන්නේ ඔවුන් කිසියම් රක්ෂණ දැන්වීමක් දකින හෝ අසන සෑම අවස්ථාවකදීම විශේෂ අංකයකට මගහැරුණු ඇමතුමක් ලබාදීම පමණි. එසේ ලැබෙන සෑම ඇමතුමකටම රු. 10/- බැගින් ළමා පිළිකාවේදී ඒකකය සඳහා වන අරමුදලට පරිත්‍යාග කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය කටයුතු කරනු ඇත. වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වූ සැමටද මෙසේ ඇමතුමක් ලබාදීම මගින් එය නිල වශයෙන් ආරම්භ කිරීමට ආරාධනා කරනු ලැබීම මෙහි විශේෂත්වයකි. මෙම පණිවිඩය ජනතාව අතරට ගෙනයාම සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මේ වනවිට රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් දැන්වීම් ඇතුළත් පරිපූර්ණ ප‍්‍රචාරණ වැඩසටහනක්ද නිර්මාණය කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තවලට අනුව අලූතින් වාර්තා වන පිළිකා රෝගීන් අතරින් 3.4% ක් වයස අවුරුදු 14 ට අඩු දරුවන් වන අතර මෙම සංඛ්‍යාවට ගැහැනු දරුවන් හා පිරිමි දරුවන් සමාන වශයෙන් ඇතුළත් වී ඇත. මෙසේ පිළිකා රෝගවලින් පෙළෙන බවට හඳුනාගනු ලැබූ දරුවන්ගෙන් 95% ක්ම ජාතික පිළිකා ආයතනය වෙතින් ප‍්‍රතිකාර ලබති.

    මේ රෝගී දරුවන් සියලූම දෙනාට පාහේ ප‍්‍රතිකාර ලබාගත හැකි එකම ස්ථානය ජාතික පිළිකා ආයතනයයි. කෙසේ වෙතත් මෙරටින් වාර්තා වන රෝගීන් විශාල ප‍්‍රමාණයට ප‍්‍රතිකාර කිරීම මෙම ආයතනයට දැඩි අභියෝගයක් බවට පත්වී තිබේ. මේ තත්ත්වයට කිසියම් ආකාරයක සහනයක් වෙමින් ජීවිත වැඩි සංඛ්‍යාවක් බේරාගැනීමට එම ආයතනයට අත්වැලක් වීමට මේ ව්‍යාපෘතියට හැකියාව ලැබෙනු ඇතැයි ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සභාපති හේමක අමරසූරිය මහතා පැවසී ය.
    ප‍්‍රධාන ඉලක්ක 3 ක් ඉටුකරගැනීම සඳහා ජාතික පිළිකා ආයතනයට සහය වීමට මෙම ව්‍යාපෘතිය උත්සාහ කරයි. C Pap යන්ත‍්‍රයක් මිලදීගැනීම, කෘත‍්‍රිම ශරීරාංග (Prosthesis) ප‍්‍රදානය සහ සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදීගැනීමට සහය වීම යනු එම ඉලක්ක 3 වේ.

    ”මේ වනවිට අපට සිටින්නේ ළමා පිළිකාවේද විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙකු පමණයි. උපකරණ හා ඖෂධ අතින් හැකි සෑම සහයෝගයක්ම ලබාගැනීම අපට ඉතාමත් වැදගත්. ඒ නිසා මෙවැනි මෙහෙවරක් දියත් කිරීම සම්බන්ධයෙන් අප ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත ස්තුතිවන්ත වනවා.” ජාතික පිළිකා ආයතනයේ ළමා පිළිකාවේද විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය පැවසුවා ය.

    මේ වනවිට C Pap යන්ත‍්‍රයක් සහ ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධ ජාතික පිළිකා ආයතනය සතු නොවන අතර ඒවා මිලදීගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. C Pap යන්ත‍්‍ර මගින් පිළිකා රෝගීන්ට නින්දේදී ආශ්වාස කිරීම පහසු කරමින් ශ්වාසනාලය අවහිර වීමේ අවදානම වළක්වාලයි. එමෙන්ම මේ වනවිට මෙම පිළිකා රෝගී දරුවන්ගේ දෙමාපියන්ට කෘත‍්‍රිම ශරීරාංග සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදීගැනීමට සිදුවී ඇති අතර ඒ සඳහා යන වියදම් දැරීමට ඔවුන් සියලූම දෙනාට හැකියාවක් නොමැත. මෙම අරමුදල යටතේ එවැනි දෙමාපියන්ට සහනයක් ලබාදීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අපේක්ෂා කරයි.
    මෙම උතුම් ක‍්‍රියාව, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොයිකාටත් සම සේ රැකවරණය සලසන නාමයක් ලෙස පෙරට යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නොඅනුමාන ය.