ජෝන් කීල්ස් පදනම දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනක් දියත් කරයි

    November, 23, 2021

    ජෝන් කීල්ස් පදනම විසින් ක්‍රියාවට නංවන ලද ‘ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය 2021 නොවැම්බර් 11 දින රණාල ප්‍රදේශයෙන් ආරම්භ කරන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු වලට මධ්‍යකාලීන විසඳුමක් වශයෙන් මෙම ව්‍යාපෘතිය, ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන පවුල් වල දරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාවට නැංවේ. මෙම පවුල් වල දරුවන් රජයේ විභාග වලට සූදානම් වීමේදී, පවතින තත්ත්වය හමුවේ ඔවුන්ට මුහුණ දීමට සිදුවී තිබෙන දුෂ්කරතා සහ අවාසිදායක තත්ත්වයන් අවම කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වී ඇත.

    මෙම නියමු ව්‍යාපෘතිය යටතේ, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ අතරින් කොළඹ 02 සහ රණාල යන ප්‍රදේශ වල දරුවන්ගේ භාවිතය සඳහා Samsung A8 ටැබ්ලට් උපකරණ 100 ක් සහ ඩේටා පැකේජ ප්‍රදානය කිරීම සිදුකෙරේ. තමන් පෙනී සිටින විභාගයට අදාළ කාලසීමාව තුළ එම සිසුන්ට මෙම ටැබ්ලට් උපකරණ සහ ඩේටා පැකේජ භාවිතා කළ හැක. මෙම ව්‍යාපෘතියේ සම-අරමුදල් සම්පාදක ලෙස Deutsche Bank එක්වී සිටින අතර, සහනදායී මිලගණන් යටතේ උපකරණ සහ ඩේටා පැකේජ ලබාදීම සඳහා පිළිවෙළින් John Keells Office Automation (JKOA) සහ Dialog Axiata PLC එක්වී සිටී. රණාල ප්‍රදේශයේ පැවති වැඩසටහන සඳහා කාර්ය සම්පාදන සහකරු ලෙස Elephant House එක් විය.

    COVID-19 සම්බන්ධ සෞඛ්‍ය විධිවිධාන වලට අනුකූලව රණාල ප්‍රදේශයේ Elephant House කර්මාන්තශාලාවේදී පැවති චාම් උත්සවයකදී, රජයේ පාසල් වල සාමාන්‍ය පෙළ ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුන් 50 දෙනෙකු වෙත ටැබ්ලට් උපකරණ ලබාදෙන ලදි. දැඩිගමුව කනිෂ්ඨ විද්‍යාලය, දේවමිත්ත මහා විද්‍යාලය, මුනිදාස කුමාරතුංග විද්‍යාලය සහ පිලිප් තිලකවර්ධන මහා විද්‍යාලය යන පාසල් වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් අතරින් මෙම 50 දෙනා තෝරාගෙන තිබේ.

    COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ, විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ විභාග පැවැත්වෙන ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරුවන්ට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අප තීරණය කළා. පාසල් දිගින් දිගටම වසා තැබීමට සිදුවීම සහ, මාර්ගගත අධ්‍යාපනය ලැබීමේදී ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ ඩේටා පැකේජ වල වියදම දැරිය නොහැකි වීම වැනි ගැටලු නිසා මෙම දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් Deutsche Bank, JKOA සහ Dialog Axiata වැනි සමාගම් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අප සැම දෙනාම මෙය දකින්නේ, රටේ අනාගත පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකළ ඵලදායී ආයෝජනයක් ලෙසයි. එම ආයෝජනයෙන් උපරිම ප්‍රයෝජන ලබමින් තම අධ්‍යාපන ඉලක්ක ජයගැනීමට මෙම දරුවන් සියලුම දෙනා කටයුතු කරනු ඇතැයි කියා අප බලාපොරොත්තු වෙනවා.” ජෝන් කීල්ස් පදනමේ මෙහෙයුම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවා ය.

    මෙම අවස්ථාවට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් චතුර මිහිදුම්, රණාල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ අනුරාධා සමරකෝන්, ජෝන් කීල්ස් සමූහාධිපති (පාරිභෝගික ආහාර නිෂ්පාදන) දමින්ද ගම්ලත්, Ceylon Cold Stores සමාගමේ මෙහෙයුම් ප්‍රධානී (සැපයුම් දාම) සංජීව ජයසුන්දර, Deutsche Bank උප සභාපති පසන් ජයසිංහ, සහ ඩයලොග් ආසිආටා සමාගමේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ක්ෂේත්‍ර කළමනාකරු (මහා පරිමාණ සමාගම්) හර්ෂ ද සොයිසා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    කොළඹ ප්‍රදේශයේ තෝරාගත් සිසු සිසුවියන්ට ටැබ්ලට් උපකරණ බෙදාදීම, එම වැඩසටහනේ කාර්ය සම්පාදන සහකරු ලෙස කටයුතු කළ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී, 2021 නොවැම්බර් 22 දින සිදුකරන ලදි.

    ටැබ්ලට් උපකරණ ලබාගන්නා සිසුන් අදාළ විභාග වලට පෙනී සිටීමෙන් අනතුරුව එම උපකරණ නැවත භාරදිය යුතු වන අතර, එසේ කිරීම මගින් තවත් සිසුන් පිරිසකගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා එම උපකරණ නැවත  භාවිතා කිරීමට අවස්ථාව ලැබේ. මෙම උපකරණ ඵලදායී ලෙස භාවිතා කරනු ලබන බව සහ, මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන බව තහවුරු කරගැනීම සඳහා, අදාළ පාසල් වල විදුහල්පතිවරුන් හරහා සහ වෙනත් ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිලාභී දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට ජෝන් කීල්ස් පදනම කටයුතු කරනු ඇත.

    ‘ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ යනු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගම් පිහිටා ඇති ප්‍රදේශ වල ක්‍රියාත්මක කරනු ලබන තිරසාර ප්‍රජා සත්කාර වැඩසටහනකි. සමාගම් හා ආයතන කිහිපයක් සමග අත්වැල් බැඳගෙන ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය, තිරසාර වැඩසටහන් ඔස්සේ ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා බහුපාශ්වීය මැදිහත්වීම් වල වැදගත්කම පෙන්වා දෙයි.