• Ada Derana BIZ Sinhala
  • Deutsche Bank
  • John Keells
  • sri lanka

ජෝන් කීල්ස් පදනම Deutsche Bank සමග එක් වී ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනේ දෙවැනි අදියර දියත් කරයි

November, 30, 2022

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය වන ගුණාත්මක අධ්‍යාපනයසාක්ෂාත් කර ගැනීමේ උත්සාහය තුළ, විවිධාකාර වූ දැනුම් අප වෙත සමීප කරන ප්‍රධානතම මාධ්‍යය බවට පත්වී තිබෙන්නේ ඩිජිටල් සන්නිවේදනයයි. එහෙත් තවමත් බොහෝ දෙනෙකුට ඉලෙක්ට්‍රොනික උපාංග නොමැති කම නිසා මේ ආකාරයට දැනුම ලබා ගැනීම දුෂ්කර වී තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ, මේ ආකාරයට අප වෙත ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙමින්, මටත් මගේ මිතුරු මිතුරියන්ටත් නව ලොව දැනුම ලබාගැනීමට උපකාරී වීමට ඉදිරිපත් වූ සියලුම දෙනාට ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” - ජාඇල ශාන්ත ජෝසෆ් කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යාවක්

ජෝන් කීල්ස් පදනම Deutsche Bank සමග එක් වී ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ. මේ වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Atrium හිදී පැවති උත්සවයට, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන මගින් ආවරණය වන කොළඹ 02, ජාඇල සහ රණාල යන ප්‍රදේශ වල පාසල් 11 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී ඔවුන්ට ටැබ්ලට් උපාංග සහ ඩේටා පැකේජ ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට ජාඇල ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂ ලීලානන්ද කුලතිලක, ජෝන් කීල්ස් සමූහයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ජෝන් කීල්ස් ව්‍යාපාර අංශ ප්‍රධානීන් වන චරිත සුබසිංහ, නයන මාවිල්මඩ සහ නදීජා තම්බයියා, ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය, Deutsche Bank හි අධ්‍යක්ෂවරුන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් වන නිරංජන් ෆිගරාඩෝ, ජනත් ඉලංගන්තිලක, ප්‍රභාත් සමීන්ද්‍ර, රේසා මන්සූර් සහ චරිත දුම්බරගේ, Dialog Axiata PLC හි නියෝජිතයන් වන හර්ෂ ද සොයිසා සහ නිශාල් හේරත් යන මහත්ම මහත්මීන්, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්, ප්‍රදානයන් සඳහා තෝරා ගනු ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COVID-19 රෝග ව්‍යාප්තිය පැවති සමයේ රජයේ විභාගවලට සූදානම් වෙමින් සිටි, අඩු පහසුකම්ලාභී දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමේ අරමුණින් ජෝන් කීල්ස් පදනම, Deutsche Bank සමග එක් වී 2021 වසරේදී ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන ආරම්භ කළේ ය.

මෙහි නියමු ව්‍යාපෘතිය (පළමු අදියර) යටතේ, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන මගින් ආවරණය වන කොළඹ 02 සහ රණාල යන ප්‍රදේශවල තෝරාගත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන් 100 දෙනෙකුට, ඔවුන් විභාගය සූදානම් වන කාල සීමාව තුළ භාවිතය සඳහා Samsung A7 ටැබ් උපාංග 100 ක් සහ ඩේටා පැකේජ පිරිනමන ලදි. මෙහි දෙවැනි අදියර යටතේ, ජාඇල ඇතුළු තෝරා ගත් ප්‍රදේශවල සිසු සිසුවියන් 80 දෙනෙකුට Samsung A8 ටැබ් උපාංග ලබා දීම සිදු විය. Deutsche Bank මෙම වැඩසටහනේ සම-නිර්මාතෘ පාර්ශ්වයක් වන අතර, Keells Office Automation (JKOA) සහ Dialog Axiata PLC පිළිවෙළින් ටැබ්ලට් උපාංග සහ ඩේටා පැකේජ සහන ගාස්තු යටතේ පිරිනමයි.

අප මේ සඳහා තෝරා ගත්තේ හුදෙක් අධ්‍යාපන කටයුතුවලින් ඉහළම දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් පමණක්ම නොවෙයි. අධ්‍යාපන කටයුතුවල දී දැනට වඩා දක්ෂතා දැක්වීමේ හැකියාව සහිත, මෙවැනි පරිත්‍යාගයන් ලැබීමට සුදුසු සිසු සිසුවියන් මේ සඳහා තෝරා ගැනීමට අප පියවර ගත්තා. පසුගිය වසරේ දී මෙම උපාංග හිමි වූ, ළඟදීම විභාගයට පෙනී සිටින සිසුන්ට එම උපාංග විශාල වශයෙන් ප්‍රයෝජනවත් වූ අයුරු මෙන්ම, ඒවා මගින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු වූ අයුරු අප හොඳින් දුටුවා. අපගේ දරුවන් වෙත ලබාදුන් මෙම සුවිශාල සහයෝගය වෙනුවෙන් ජෝන් කීල්ස් පදනමට ස්තූතිවන්ත වන අතරම, ඉදිරි වසරේදී මීටත් වඩා පුළුල් මට්ටමකින් මෙය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකි වනු දැකීම අපගේ ප්‍රාර්ථනාවයි.රණාල මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ විදුහල්පතිතුමා පැවසී ය.

ජෝන් කීල්ස් පදනම විසින් කළමනාකරණය කරනු ලබන ජෝන් කීල්ස් සමූහයේ ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ජෝන් කීල්ස් ප්‍රජා ශක්තිමගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. විවිධ පාර්ශ්වකරුවන් සමග අත්වැල් බැඳගෙන, හඳුනාගත් ප්‍රජා සංවර්ධන ගැටලුවලට පිළියම් සෙවීම ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ වේ.

අධ්‍යාපනය යනු ජෝන් කීල්ස් පදනමේ (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශය) මූලික අවධානය යොමු වී ඇති අංශ හය අතරින් එක් අංශයකි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) හි පරිපාලිත සමාගමක් වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි  ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 17 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා බලගන්වමු දේශය හෙට දිනටපිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.