ජෝන් කීල්ස් සමූහය වාර්තාගත 16 වන වරටත් මෙරට වඩාත්ම ගෞරවනීය සමාගම ලෙස ඇගයීමට ලක්වෙයි

    September, 13, 2021

    ජෝන් කීල්ස් සමූහය අඛණ්ඩව 16 වන වරටත්, LMD මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය සමාගම් හා ආයතන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ. LMD ‘Most Respected Entities’ නවතම ලැයිස්තුව 2021 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදි. මුල්‍ය කාර්ය සාධනය, ගුණාත්මක බව පිළිබඳ අවධානය, කළමනාකරණ පැතිකඩ, අවංකභාවය, නවෝත්පාදනයන්, උද්‍යෝගීත්වය, ආයතනික සංස්කෘතිය, සමාජ සත්කාර හා තිරසාරත්වය, දැක්ම, ජාතික දෘෂ්ටිකෝණය, මානව සම්පත් කළමනාකරණය සහ අර්බුද කළමනාකරණය යන අංශ 12 න්ම ප්‍රථම ස්ථානයට පැමිණීමට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට හැකි වී ඇත.

    LMD හි සංකල්පයකට අනුව NielsenIQ මගින් පවත්වනු ලබන මෙම සමීක්ෂණයේ අරමුණ වන්නේ, ඊට දායක වන්නන්ගේ ප්‍රතිචාර අනුව මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් හා ආයතන හඳුනා ගැනීම ය. ලැයිස්තුගත සමාගම් වල කළමනාකාරවරුන් සහ ඊට ඉහළ මට්ටමේ නිලධාරීන් 800 ක පමණ පිරිසක් මෙවර සමීක්ෂණයට දායක වී තිබේ. 2004 වසරේදී මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ වීමෙන් අනතුරුව ගෙවුණු වසර 17 තුළ, 16 වරක්ම අංක 1 ස්ථානය දිනා ගැනීමට ජෝන් කීල්ස් සමූහය සමත් වූ අතර, වාර්තාගත වැඩිම ඡන්ද සංඛ්‍යාව (1,074) ද හිමිකර ගැනීමට සමත් විය.

    LMD සඟරාවේ 2021 අගෝස්තු කලාපයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවසී ය. “විශිෂ්ටත්වය ළඟා කර ගත හැක්කේ කැපවීමෙන් රාජකාරි කරන, නිර්මාණශීලී හා දක්ෂ වෘත්තිකයින් කණ්ඩායමක් තුළින් පමණක් බව අප හොඳින් දන්නවා. ඔවුන් අපගේ මූලික ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීමට උපකාරී වන අවංකභාවය, විශ්වාසනීයත්වය, විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ දයාව යන වටිනාකම් මුල් කරගෙන කටයුතු කරන කණ්ඩායමක් විය යුතුමයි. මෙවැනි ඇගයීම් අප වෙත හිමිවීම, මා විශ්වාස කරන ආකාරයට, ඉහළ කාර්යසාධනයක් සහිත කණ්ඩායම් නිර්මාණය කිරීමටත්, කණ්ඩායම් හැඟීම හා චිත්ත ධෛර්යය වර්ධනය කිරීමටත් අතිශයින් වැදගත් වන සාධකයක්. කාර්ය මණ්ඩලයේ යහපත වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනයන් සිදුකිරීම මගින් ඔවුන් වැඩි උනන්දුවකින් යුතුව සමාගමේ ඉදිරි ගමනට තම දායකත්වය ලබාදීමට පෙළඹෙනවා. මේ ආකාරයට වාර්තාගත 16 වන වරටත් මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස LMD ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ලබාගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. අපට මේ ජයග්‍රහණය ලබාගැනීමට හැකියාව ලැබුණේ අපගේ සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම නිසයි.”

    ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී (JKH) යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක් පවතින, සමාගම් 70 කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන, කොළඹ කොටස් වෙළඳපොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන අතර, 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබාදෙන JKH ආයතනය වසර 16 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවණීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සාමාජිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්වය මුලපිරීම් හරහා ‘හෙට සඳහා ජාතිය සවිබල ගැන්වීම’ පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින්ද ක්‍රියා කරයි.