ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් වෙතින් ශක්තිමත් හා නිරෝගී ශ්‍රී ලංකාවක් උදෙසා GS Sports

    May, 19, 2021

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ඖෂධ භාණ්ඩ ආනයන සමාගමක් වන 'ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්' (George Steuart Health) එහි ප්‍රථම අනුබද්ධ ආයතනය ලෙස GS Sports ආරම්භ කර තිබේ.

    ශරීර සුවතාව හා ක්‍රීඩා ඔස්සේ වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ජනතාව හුරුකරවීම ඉලක්ක කරගත් GS Sports හඳුන්වා දීම, 2021 අප්‍රේල් 29 දින, අංක 445A, ගාලු පාර කොළඹ 03 යන ස්ථානයේදී උත්සවාකාරයෙන් සිදුකෙරිණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා, ජාත්‍යන්තර පදක්කම්ලාභී කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජන්, දිනූ පෙරේරා. ප්‍රියන්ත ඒකනායක, වෛද්‍ය සීවලී ජයවික්‍රම, අරවින්ද ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක්ද එම අවස්ථාවට සහභාගී වූහ.

    GS Sports ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹ 03 ස්ථානයේ පවත්වාගෙන යනු ඇති අතර, තවත් ශාඛාවක් ළඟදීම මාදිවෙල ප්‍රදේශයේ විවෘත වීමට නියමිත ය. ක්‍රීඩා හා ශරීර සුවතාව සම්බන්ධයෙන් ආධුනිකයන්ගේ සිට වෘත්තිකයන් දක්වා ඕනෑම කෙනෙකුට අවශ්‍ය වන භාණ්ඩ රාශියක් මෙම ප්‍රදර්ශනාගාර වලදී මිලදී ගැනීමට හැකිවනු ඇත. ව්‍යායාම, ශරීර සුවතාව, බර එසවීම සහ කාය වර්ධනය ආදිය සඳහා අවශ්‍ය භාණ්ඩ සහ ක්‍රීඩා ඖෂධ ඇතුළු බොහෝ දේ මෙම ප්‍රදර්ශනගට වෙතින් මිලදී ගැනීමට හැකි වේ. එමෙන්ම සියලුම ක්‍රීඩා හා ශරීර සුවතා උපකරණ සඳහා පරිපූර්ණ හා විශ්වාසදායී අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමටද GS Sports ආයතනය සූදානමින් සිටී.

    GS Sports ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ ව්‍යාපාරයේ සභාපති දිලිත් ජයවීර මහතා මෙසේ පැවසී ය. "වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ උත්සාහය දිරිගැන්වීමේ පියවරක් ලෙස GS Sports ආරම්භ කිරීමට ලැබීම ගැන අප බෙහෙවින් ආඩම්බර වනවා. පවතින COVID-19 රෝග ව්‍යාප්තිය නිසා බොහෝ දෙනෙකුට නිවෙස් වලට වී, ව්‍යායාමයකින් තොරව, අලස ජීවන රටාවකට කොටු වී සිටීමට සිදුවූ තිබෙන බව රහසක් නොවෙයි. මෙය කායික සුවතාවට මෙන්ම මානසික සුවතාවටද බලපාන දෙයක්. මෙවැනි පසුබිමක් තුළ. ව්‍යායාම ඔස්සේ කායික හා මානසික සුවතාව ළඟා කරගැනීමට කොයිකාටත් අවස්ථාව ලබාදීම අපගේ ඉලක්කය වී තිබෙනවා. මේ ආකාරයට ශරීර සෞඛ්‍යය නංවාලීමට දායක වීම ඔස්සේ, අද අප 'New Normal' ලෙස හඳුන්වන ජීවන රටාව සැබෑ පරිවර්තනයකට ලක්කිරීමට GS Sports සමත් වේවි. ඒ වගේම එය ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ දැක්ම යථාර්ථයක් බවට පත්කිරීමට මනා පදනමක් සපයා දේවි කියා මා සිතනවා."

    තම ශාඛාවන් වෙතින් උසස් තත්ත්වයේ ක්‍රීඩා හා ශරීර සුවතා භාණ්ඩ වලට අමතරව, විශිෂ්ට මට්ටමේ පාරිභෝගික සේවාවක් ලබාදීමටද GS Sports සූදානමින් සිටී. මෙමගින්, නිවසේ ගතකරන කාලය වඩාත් අර්ථවත් ලෙස ගතකරමින්, මෙම දුෂ්කර කාලය තුළ නිරෝගී බව හා යහපැවැත්ම ළඟා කරගැනීමට කොයිකාටත් අවස්ථාවක් උදාවනු ඇත. සහනදායී මිලගණන් යටතේ විශිෂ්ටතම සෞඛ්‍ය සේවා විසඳුම් පමණක් ජනතාවට සමීප කරවීමට කැපවී සිටින ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ දැක්මෙන් පන්නරය ලබන GS Sports 'සතුටින්, නිරෝගී බවින් හා සිනහවෙන් සපිරි ශ්‍රී ලංකාවක්' නිර්මාණය කිරීමට විශිෂ්ට දායකත්වයක් දක්වනු නොඅනුමාන ය.

    GS Sports යනු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා යහපැවැත්ම සම්බන්ධ පුරෝගාමී විසඳුම් සම්පාදකයා වන ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ නවතම හඳුන්වා දීමයි. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම, ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළඳ සමාගමක් සහ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි.