ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් විධායක අධ්‍යක්ෂක සංජීව විජේසේකර ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති ධූරයට

    August, 12, 2021

    ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසඳයේ (SLCPI) 60 වන වාර්ෂික මහා සභා රැස්වීම 2021 අගෝස්තු 10 දින පැවැත්වුනි. COVID-19 වසංගත තත්ත්වය හමුවේ සියලූ දෙනාගේම ආරක්ෂාව තහවුරු කරමින් මෙම රැස්වීම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

    ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසඳය යනු මෙරට ඖෂධ කර්මාන්තයේ පෞද්ගලික අංශය නියෝජනය කරන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන් රැසකගෙන් සමන්විත ප‍්‍රධානතම ආයතනයයි.

    1961 වර්ෂයේදී ශ‍්‍රී ලංකා ඖෂධ වෙළෙඳුන්ගේ සංගමය (SLPTA) ලෙස ඇරඹි මෙම සංවිධානය මෙරට සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ වූ විවිධාකාරයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විවිධ පාර්ශවකරුවන් සතු ශක්තීන් සම්බන්ධීකරණය කිරීමේ අරමුණ ඇතිව පසුව SLCPI ලෙස ප‍්‍රතිස්ථාපනය කරන ලද අතර ලංකා වාණිජ මණ්ඩලය සමඟ අනුබද්ධිත ආයතනයකි.

    ඒ අනුව 60 වන වාර්ෂික මහසභා රැස්වීමේදී 2021/22 වසර සඳහා ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් (පුද්ගලික) සමාගමේ විධායක අධ්‍යක්ෂක සංජීව විජේසේකර මහතා නව සභාපති ලෙස ඒකමතිකව තෝරා පත් කර ගන්නා ලදී. මෙම ක්ෂේත‍්‍රයේ වසර 34ක පලපුරුද්දක් ඇති ඔහු වසර 10 කටත් අධික කාලයක් SLCPI හි සේවය කර ඇත. එම කාලය තුළ ඔහු කාරක සභා සාමාජික, භාණ්ඩාගාරික, උප සභාපති සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස තනතුරු ගණනාවක් හොබවා ඇත. ඒ අනුව වසර දෙකක් ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසඳයේ සභාපති ධූරය හෙබවූ කස්තුරි චෙල්ලරාජා විල්සන් (ප‍්‍රධාන විධායක නිලධාරී - හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී) මහත්මියගෙන් පසු සංජීව විජේසේකර මහතා විසින් සිය ධූරයෙහි වැඩ බාරගන්නා ලදී.

    ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසඳයේ 2021/22 වසර සඳහා තේරී පත් වූ නිලධාරින් මෙසේය; සභාපති- සංජීව විජේසේකර මහතා (විධායක අධ්‍යක්ෂ - ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්), හිටපු සභාපති - කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය (ප‍්‍රධාන විධායක නිලධාරී - හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී), ජ්‍යෙෂ්ඨ උප සභාපති- එම් ප‍්‍රතාබන් මහතා (කළමනාකරණ අධ්‍යක්ෂ - ඉමකෙමි එන් බී සිලෝන් ලිමිටඞ්), උප සභාපති - අසාම් ජවාර්ඞ් මහතා (කළමනාකාර අධ්‍යක්ෂ - සිප්ලා ෆාමා ලංකා සමාගම), ගරු ලේකම් - ශාන්ත බණ්ඩාර මහතා (ප‍්‍රධාන විධායක නිලධාරි - සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගම) සහ භාණ්ඩාගාරික - දිනේෂ් අතපත්තු මහතා (කළමනාකාර අධ්‍යක්ෂණය - මොරිසන් පීඑල්සී)

    සිය ප‍්‍රධාන දේශනය පවත්වමින් සභාපති සංජීව විජේසේකර මහතා, තමන් පිළිබඳ විශ්වාසය තබමින් මෙම තනතුර සඳහා තෝරාපත්කර ගත් සභාවේ සියළුදෙනාහට ස්තුතිවන්ත වූ අතර, සිය ධුර කාලය අවසන්ව නික්ම යන නිලධාරින්ට සහ කමිටු සාමාජිකයින්ටද විශේෂ ස්තුතියක් සිදු කරමින් ඔවුන්ගේ සේවාව අගය කිරීමක්ද සිදුකළේය. සෑම ශ‍්‍රී ලාංකිකයෙකු සඳහාම දැරිය හැකි මිලකට සහ ගුණාත්මක ඖෂධයන් ලබා දීමේ පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා නව සභාපතිවරයා ලෙස අනෙකුත් සියළුම පාර්ශවකරුවන් සමඟ වැඩ කිරීමේ අවශ්‍යතාවය ඔහු නැවත අවධාරණය කළේය. ඉදිරි වර්ෂය සඳහා ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසඳයේ අරමුණු පිළිබඳව සංජීව විජේසේකර මහතා දැක්වූ අදහස්; ඖෂධ මිල නියාමනය සඳහා විනිවිද පෙනෙන හා ක‍්‍රියාකාරී යාන්ත‍්‍රණයක් පවත්වා ගැනීම උදෙසා NMRA හි මිල කමිටුව සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීම; නියාමන මාර්ගෝපදේශයන්ට අදාළව NMRA පනතේ සංශෝධන අවසන් කිරීම; පාර්ශවකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී දැනට පවතින නියාමන ක‍්‍රියා පටිපාටි විධිමත් කිරීම සඳහා NMRA සමඟ එක්ව කටයුතු කිරීම; කර්මාන්තයට අහිතකර නොවන විනිවිද පෙනෙන ටෙන්ඩර් පටිපාටියක් සහ වඩාත් සාධාරණ ගෙවීම් හා සැපයුම් සම්බන්ධ ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමඟ එක්ව කටයුතු කිරීම; සාමාන්‍ය ජනතාවට වඩාත් උසස් සේවාවක් සැපයීම සඳහා සිල්ලර ව්‍යාපාරිකයන් ් සහ බෙදාහරින්නන් සමඟ සමීපව කටයුතු කිරීම

    කොවිඞ් වසංගතය දැඩිව පැවතුන සමයක, කර්මාන්තය තුළ සියලූ දෙනාගේ කැපවීම සහ පාරිභෝගිකයාට ඉහළ සේවාවක් ලබාදීම වෙනුවෙන් සියලූදෙනා තුල වූ ඒකායන උත්සාහය සංජීව මහතා තවදුරටත් අගය කළේය. සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගේ ඇතුළු සැපයුම් කණ්ඩායම් සියල්ල වෙනුවෙන් ඔහු ස්තූති කළේය.

    පුද්ගලික අංශයේ ඖෂධ ක්ෂේත‍්‍රයේ 80% කටත් වඩා වැඩි ප‍්‍රමාණයක් සිටින නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ සිල්ලර ව්‍යාපාරිකයින් වැනි 60 කට අධික සාමාජිකයින්ගේ නියෝජිතයෙකු ලෙස ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසඳය SLCPI කටයුතු කරයි. මෙම පාර්ශවකරුවන් විසින් ලොව පුරා සිටින නිෂ්පාදකයින් 364 දෙනෙකු හා සම්බන්ධව ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අවශ්‍ය ඖෂධ සැපයීමේ වගකීමේ නිරතව සිටියි.