ටෙක්ස්ටර්ඩ් ජර්සි සමාගම “ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන 2015” හිදී සම්මාන ලබයි

    December, 1, 2015

    ජාතික වාණිජ මණ්ඩලය මෙහෙයවීමෙන් සන්විධානය කරන ලද "ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන 2015" (NBEA) සම්මාන උළෙල පසු ගියදා උත්කර්ෂවත් අන්දමින් කොළඹ හිල්ටන්හිදී පැවැත්විණි. එහිදී කලාපයේ විශාලතම රෙදිපිළි නිෂ්පාදකයා වන ටෙක්ස්ටර්ඩ් ජර්සි ලංකා සමාගම සම්මාන 5 කින් පිදුම් ලැබීය. මෙම උත්සවයට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස එක්සත් රාජධානියේ මහ කොමසාරිස් එච්.ඊ ජේම්ස් ඩොරිස් මහතා සහභාගි විය.

    ලංකාවේ රෙදි පිළි කර්මාන්තයේ ප්‍රමුඛත්වය ගෙන සිටින සමාගම් අතුරින් ඉහළතම ස්ථානයේ සිටින බව සනාථ කරමින් ගිය වසරේ මෙන්ම මේ වසරේත් ටෙක්ස්ටර්ඩ් ජර්සි සමාගම රෙදිපිළි නිෂ්පාදන සහ හම් නිශ්පාදන අංශය සදහා පිරිනමන රන් පදක්කම හිමිකර ගත්හ. එමෙන්ම ධාරිතා වර්ධනයෙහි රන් පදක්කමක්ද, ක්‍රියාකාරීත්ව කළමණාකරනයෙහි රිදී පදක්කමක්ද ඔවුන් හිමිකර ගත්හ. සම්මාන උළෙලේ තවත් විශේෂාංගයක් වූයේ මහා පරිමාණ සමාගම් වර්ගයෙහි (Extra Large Category) රිදී සම්මානයද ටෙක්ස්ටර්ඩ් ජර්සි සමාගමට හිමිවීමයි. මෙලෙස මෙම උත්සවයේ සම්මාන රාශියකට හිමිකම් කියමින් ටෙක්ස්ටර්ඩ් ජර්සි ලංකා සමාගම අද වන විට දේශයේ ශක්තිමත්ම සමාගමක් ලෙස ඉහලින් සිටී.

    ජාතික වාණිජ මණ්ඩලය මෙම සම්මාන උත්සවය විනිෂ්චය කිරීම සදහා තත්ව කළමනාකරණ පිලිබඳ යුරෝපීය සම්මේලනය යොදා ගත් නිර්ණායක හා ඇමරිකා එක්සත් ජනපදයෙහි පැවැත්වෙන මැල්කම් බෝල්ඩ්රිජ් තත්ව සම්මාන උළෙලෙහි යොදා ගත් නිර්ණායක එකට එකතු කිරීමෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අංශයට වඩාත් යෝග්‍ය වන පරිදි නිර්මාණය කළ ක්‍රමවේදයක් භාවිතා කර ඇත.

    ටෙක්ස්ටර්ඩ් ජර්සි සමාගම පසුගියදා එක්සත් රාජධානියේ පැවැත්වුනු රෙදිපිළි සම්මාන උළෙලේ දී වසරේ ගෞරවණීය ජාත්‍යන්තර රෙදිපිළි සමාගමට හිමි සම්මානය තමන් සතු කරගනිමින් ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්පත් කර දුනි. ඉකුත් මාස දෙක තුළදී මෙම සිදුකල විශාල වෙනස්කම් දෙකක් කලාපයේ විශාලතම රෙදිපිළි කර්මාන්ත ශාලව ලෙස නැගී සිටීමට හේතුවී ඇති බව එම සමාගම පවසයි.

    ටෙක්ස්ටර්ඩ් ජර්සි සමූහයේ කළමණාකරන අධ්‍යක්ෂ ශ්‍රියාන් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ නව්‍යකරණය හා විශිෂ්ටත්වය සඳහා කැප වී වැඩ කිරීම මෙන්ම කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමෙන් සමාගමට හා එහි පාර්ශවකරුවන් හට වැදගත් සංධිස්ථාන රැසක් සාක්ෂාත් කර ගැනීමට හැකිවූ බවයි. ජාතික හා ගෝලීය වශයෙන් වැදගත් ව්‍යාපාරික ආයතනයක් ගොඩනැගීම සදහා අප සමාගම අරමුණු කරගත් ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට මෙම සම්මාන පිටුවහලක් වූ බවත් ඔහු සදහන් කළේය. තවදුරටත් මෙම ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටීමට හා තව තවත් මෙවැනි ජයග්‍රහණ අත්පත් කර ගැනීම තම ආයතනයේ අපේක්ෂාව බව ශ්‍රියාන් ද සිල්වා මහතා අවධාරණය කළේය.

    මහත් අපේක්ෂා සහිත කාර්යක්ෂම කණ්ඩායමක් විසින් බලගැන්වෙන මෙම සමාගම, දීර්ඝ කාලීන වර්ධන අවස්ථා කරා ගමන් කරවන අතර ජයග්‍රාහී ගමන් මගෙහි විශ්වාසයෙන් රැදී සිටීමට කටයුතු කරයි.