ටොයොටා ලංකා කාර් මිල අඩු කරයි. මෙන්න! විස්තරේ

    November, 3, 2014

    ජපානයේ සුප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ටොයොටා සමාගමට අනුබද්ධ ටොයොටා ලංකා සමාගම 2015 අයවැය යෝජනා වලට අනුව මෙරට විකුණන වාහනවල මිල අඩුකර තිබේ.

    මේ පිළිබඳව ටොයොටා ලංකා සමාගමේ සමාන්‍යාධිකාරී, එෂාන් කුරේ මහතා අප සමග පැවසුවේ ටොයොටා ලංකා විසින් මෙරට අලෙවි කරන නවතම Prius C හයිබ්‍රීඩ් රථයක මිල රුපියල් 1,25,000 ත් 1,40,000 ත් අතර මිලකින් අඩුකර තිබෙන බවයි.

    මීට අමතරව, Toyota hiace 222 වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 08 ත් 09 ත් අතර මිලකින් අඩුවී තිබෙන බවත් මීට පෙර ලක්ෂ 89 කට පමණ අලෙවි කළ මෙම වෑන් රථයක මිල මේ වනවිට රුපියල් ලක්ෂ 80 ක් වැනි මිලක් දක්වා අඩුවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

    එසේම, Toyota hiace 202 වෑන් රථයක මිලද රුපියල් ලක්ෂ 07 ත් 08 ත් අතර මිලකින් අඩුවී ඇතැයි කුරේ මහතා පැවසූ අතර මීට පෙර ලක්ෂ 74 ක් පමණ වූ මෙවැනි වෑන් රථයක් මේ වනවිට ලක්ෂ 67 ක් වැනි මිලකට ලබාගත හැකි යැයි කීය.

    ටොයොටා ලංකා විසින් කැබ් රථවල මිලද ලක්ෂ 04 ත් 06 ත් අතර මිලකින් අඩුකර තිබේ. එෂාන් කුරේ මහතා අප සමග සඳහන් කළේ මීට පෙර රුපියල් ලක්ෂ 77 ක් පමණ වූ කැබ් රථයක් මේ වනවිට අලෙවි කරන්නේ රුපියල් ලක්ෂ 71 කට බවයි.

    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවී ඇත.

    මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ.