ටෝකියෝ සිමෙන්ති සමාගමේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය අනුරාධපුර වෙහෙරගල සහ දාච්චිදමන ජනතාවට පිළිගන්වයි

    January, 12, 2022

    ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතියේ නවතම අදියර රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙරගල සහ මැදවච්චියේ දාච්චිදමන ගම්මාන දෙකෙහි ගොවි ප්‍රජාවන් වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය.  අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව වෙහෙරගල ගම්මානයේ පවුල් 268කට අයත් ගම්වාසීන් 1,000කට අධික පිරිසක් සහ මැදවච්චියේ දාච්චිදමන ප්‍රදේශයේ පවුල් 48කට අයත් පුද්ගලයන් 200කට ආසන්න පිරිසකගේ පානීය ජල අවශ්‍යතාවය මින් සපුරාලනු ලබයි.  දීර්ඝ කාලයක පටන් හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයේ බලපෑමෙන් පීඩාවට පත් මෙම ජනතාව ඉන් මුදවාගැනීමට එම ගම්මානදෙකෙහි ස්ථාපිත ‘දිවියට දිය දහරක්’ ජල පවිත්‍රකරණ පද්ධති මහඟු දායකත්වයක් සපයනු ඇත.

    කෘෂිකර්මාන්තය ජීවිකාව කරගත් උතුරුමැද පළාතේ මෙම ගම්මාන දෙකේ සෑම නිවසකම පාහේ හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුවූ රෝගියෙකු දක්නට ලැබීම ඔවුන් මුහුණපා සිටින ජීවිත අවදානම පෙන්නුම් කරයි.  පිරිපහදු ධාරිතාවය දිනකට ලීටර් 5,000 සහ ලීටර් 1500 බැගින් වූ ‘දිවියට දිය දහරක්’  ජල පෙරණ පද්ධති දෙකක් ස්ථාපනය කිරීමත් සමඟ මෙම ජනතාවට පිරිසිදු ජලය සමඟින් නව ජීවන බලාපොරොත්තුවක් ද හිමිවනු ඇත. ටෝකියෝ සිමෙන්ති සමූහයේ සහෝදර සමාගමක් වන සෙන්ට්. ඇන්තනීස් සමාගමේ ජල විසදුම් අංශයේ සහයෝගය ඇතිව සැලසුම් කරන ලද එම එක් අංගසම්පුර්ණ ජල පිරිපහදු පද්ධතියකට, ඒ ඒ ගම්මානයේ ජන ඝනත්වයට ගැලපෙන පරිදි ජලය ගබඩා කිරීම සඳහා ටැංකි, ජල පොම්ප සහ භූගත ජලයේ ගුණාත්මකභාවය විද්‍යාත්මක අධ්‍යයනයන්ට ලක්කිරීමෙන් පසු නිර්මාණය කරන ලද විශේෂිත ප්‍රති ආස්‍රැති ජල පිරිපහදු ක්‍රමවේදය අනුව සැකසු ජල පෙරණ පද්ධතියක් (Reverse Osmosis (RO) Water Purification) ඇතුලත් වේ.

    රඹෑව සහ මැදවච්චියේ ‘දිවියට දිය දහරක්’  පානීය ජල  ව්‍යාපෘති දෙක ජනසතු කිරීමේ අවස්ථාවට ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සමූහ අලෙවි කළමනාකරු දශාන්ත උඩවත්ත මහතා සමඟ ටෝකියෝ සිමෙන්ති වවුනියාව ප්‍රාදේශීය අලෙවි නියෝජිත, ෂන්මුගම් ස්ටෝර්ස් අධිපති, එස්. ආනන්දරාජ් මහතා සහ ටෝකියෝ සිමෙන්ති අනුරාධපුර ප්‍රාදේශීය අලෙවි නියෝජිත, නෝර්ත් ඒජන්සීස් හි අධිපති, ටී. මහදේවන් මහතා සහභාගීව සිටියහ.  මෙම ග‍්‍රාමීය ගොවි ප‍්‍රජාවගේ ජීවිත නඟා සිටුවීම උදෙසා ටෝකියෝ සිමෙන්ති ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතිය මඟින් ලබාදෙන්නාවූ අමිල දායකත්වයට කෘතඥතාවය පලකරනුවස් දාච්චිදමන ගම්වාසීන් විසින් සංවිධානය කරන ලද චාම් උත්සව අවස්ථාවට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රිකා මලවිආරච්චි මහත්මිය සහභාගීවූවාය. උතුරුමැද පළාත්සභා ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගය ඇතිව ස්ථාපනය කරන ලද පානීය ජල සැපයුම් පද්ධතීන්වල සේවය සියළු ගම්වැසියන්ට එකසේ අත්වන පරිදි තිරසාර කළමනාකරණය ගම්මාන දෙකෙහි ග්‍රාම සංවර්ධන සමිති විසින් සිදු කරනු ලබයි.

    ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ ව්‍යාපෘතිය මේ වන විට අනුරාධපුරයේ වෙහෙරගල, දාච්චිදමන, නාවක්කුලම සහ සියඹලාගස්වැව සහ කිලිනොච්චියේ වේරාවිල්, වලයිප්පාඩු සහ වීරපාණ්ඩියමුනෙයි යන ඈත දුෂ්කර ගොවි ගම්මානවලට දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් 46,500ක සමුච්චිත ධාරිතාවක් සපයමින් 4,500කට අධික ජනතාවකගේ මෙන්ම ඔවුන්ගේ ඉදිරි පරම්පරාවල යහපැවැත්ම සහතික කරවීමට සමත්ව සිටියි.  නව වසරේ මැද භාගය වනවිට තවත් මෙවන් සියගණනක් ගැමි ජනතාවගේ ‘දිවියට දිය දහරක්’ ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත වලට නැවුම් බලාපොරොත්තු තිලිණ කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගම කටයුතු සම්පාදනය කරමින් සිටියි.

    පිටිසරබද ගම්මානවල ජිවත්වන දහස්ගණනකගේ පිරිසිදු පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙන ‘දිවියට දිය දහරක්’ ව්‍යාපෘතිය වැනි අපේ රටේ ජනතාවගේ සුභසිද්ධිය පාදක කරගත් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති රැසකට ටෝකියෝ සිමෙන්ති සමාගම සිය දූරදර්ශී දායකත්වය සපයයි.  ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ වගකීම උදෙසා ඇති කැපවීම මෙවැනි වැඩසටහන්  තුළින් ජීවමාන අතර, එමඟින් අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ සමාගම් දැක්ම සාක්ෂාත් කරවීම ඔවුන්ගේ මුඛ්‍ය අරමුණයි.