“ඩයලොග් රිද්ම රැයක් 2016” ජුනි 4 දා නෙළුම් පොකුණ රඟහලේ දී

    May, 15, 2016

    ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ නියැලෙන කලාකරුවන් වෙත වසරක් පාසා සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණාවරණයක් පිරිනැමීමත්, පැරණි පරපුරේ ශිල්පීන්ගේ අවශ්‍යතා සොයාබලා සැපිරීමත් පිණිස පවතින අරමුදල සවිමත් කිරීම සඳහා ගීත නිර්මාණක කේන්ද්‍රය (OSCA) විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන “රිද්ම රැයක්” විචිත්‍ර සංගීත ප්‍රසංගය, ජුනි මස 4 දින නෙළුම් පොකුණ රඟහලේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. “ඩයලොග් රිද්ම රැයක් 2016” ප්‍රසංගය සඳහා අනුග්‍රහය දක්වන්නේ නිරතුරු ව කලාවට අත හිත දෙන ඩයලොග් සමාගම විසිනි. ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට සිය දායකත්වය ලබාදෙමින් ඩයලොග් පසුගිය වසරේදී අමරධ්වනි සහ රිදී රැයක් ප්‍රසංග සඳහා අනුග්‍රහය ලබාදෙන ලදී.

    මෙවර ප්‍රසංගය සුපුෂ්පිත කිරීමට, සුභාවිත ගීත සම්ප්‍රදායක් උදෙසා මහගුමෙහෙවරක යෙදුන ජනප්‍රියතම ගායන ශිල්පීන් 6 දෙනකු සහභාගි වෙති. මහේෂ් දෙනිපිටියගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ කීර්ති පැස්කුවල්, නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව, නාමල් උඩුගම, නෙලු අධිකාරි සහ චාමික සිරිමාන්න යන ගායක ගායිකාවන් ඉදිරිපත් කරන සුමධුර ගායනයන් ප්‍රේක්ෂක රසිකයන් හට උපරිම වින්දනයක් ලබාදෙනු ඇත.

    වර්තමානයේ මෙරට බොහෝ කලාංගයන් අභිබවා ජනප්‍රියතම කලා මාධ්‍යය බවට ගීතය පත් වී ඇති බව පොදු පිළිගැනීමයි. රසාලිප්ත සංගීතය සතු සිත නිවන ගුණය ද, පද රචනයේ ගැබ් වන අර්ථපූර්ණ සංකල්පනාව ද ගායන ශිල්පියාගේ මධුර ගායන විලාසය ද ඒකාබද්ධ වීමෙන් නිර්මාණය වන සුභාවිත ගීතයට, රසික ජනතාවගේ රසඥතාව මෙන්ම මානවීය ගුණාංග ද ඉහළ නැංවෙන පරිදි පුළුල් මෙහෙවරක් ඉටු කිරීමේ හැකියාව හිමි වී තිබේ.

    සංගීත ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල නිර්මාණකරුවන් වෙතින් ගුරුහරුකම් ලබාගැනීමේ මහඟු අවස්ථාව නව පරපුරට හිමි වන පිණිස ඔවුන් හා ප්‍රවීණයන් අතර සමීප ඇසුරක් පැවතීම අතිශයින් වැදගත්ය. එබැවින් සංගීත ක්ෂේත්‍රයේ සියලූම අංශවලට අයත් ශිල්පීන් ඒකරාශී කරමින් “ගීත නිර්මාණක කේන්ද්‍රය” ක්‍රියාත්මක වීම සමස්තයක් ලෙස සංගීත ක්ෂේත්‍රයේම ප්‍රගමනයට හේතු වී ඇති බව සඳහන් කළ හැකිය.

    රස වින්දනය සේ ම ජීවිතාබෝධය ද සහිත නිර්මාණ ඉදිරිපත් කිරීම මගින් කලාකාමී ජනතාවට මහත් අස්වැසිල්ලක් ලබාදෙන කලාකරුවන් වෙත කෘතගුණ දැක්වීමේ අදිටනින් “ගීත නිර්මාණක කේන්ද්‍රය” බිහි වූයේ හා ක්‍රියාත්මක වන්නේ සුප්‍රකට කීර්තිමත් ව්‍යාපාරිකයකු වන ජයන්ත ධර්මදාස මහතාගේ මූලිකත්වය හා නායකත්වය යටතේය.

    ගීත නිර්මාණක කේන්ද්‍රය” මගින් කලාකරුවන් වෙත සැලසෙන සේවාවන් රැසක් ඇත. ඒ අතරින් ගේය පද රචකයන්, සංගීත අධ්‍යක්ෂකවරුන් සහ ගායන ශිල්පීන්ගේ නිර්මාණශීලිත්වයට හිමි විය යුතු කතෘ භාග ලබාදීම සහ බුද්ධිමය දේපළ සුරක්ෂිත කිරීමට ප්‍රමුඛත්වය හිමි වේ.

    මේ වනවිට ගේය පද රචකයින්, සංගීත අධ්‍යක්ෂකවරුන්, ගායන ශිල්පීන්, වාද්‍ය ශිල්පීන් සහ සංගීත කණ්ඩායම් ද එකම ධජයක් යටතේ මෙම කේන්ද්‍රය වටා රොද බැඳගෙන සිටිති. එබැවින් සංඛ්‍යාවෙන් විශාල වුවත් සංගමයේ සාමාජිකත්වය ලබා සිටින සියලූම ශිල්පීන් වෙත වාර්ෂිකව සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණාවරණයක් පිරිනැමීම සඳහා “ඩයලොග් රිද්ම රැයක් 2016” ප්‍රසංගය හරහා උපරිම අරමුදලක් රැස් කරගැනීමට එහි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. සියලූම ශිල්පීන් අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම ඔස්සේ සමස්ත සංගීත ක්ෂේත්‍රයේ අයිතිවාසිකම් තහවුරු කිරීමට කැප වී සිටින එකම කි්‍රයාකාරී සංවිධානය වන්නේ ගීත නිර්මාණක කේන්ද්‍රයයි.