ඩැනියෙල් හෙස්ගේ නායකත්වයෙන් බවර් සමාගම සිය පාරිභෝගික අංශය පුළුල් කරයි

    March, 15, 2023

    ශ්‍රී ලංකාවේ දැවැන්තම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන A Baur & Co. (පුද්ගලික) සමාගම හෙවත් බවර් සමාගම, මෙරට ජනප්‍රියතම සහ වඩාත් විශ්වාසනීයම පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාරය බවට පත්වීමේ අරමුණින් යුතුව තම පාරිභෝගික ව්‍යාපාර අංශය පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, තම නියෝජිතායතන ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමටත්, නිෂ්පාදන කළඹ ප්‍රසාරණය කිරීමටත්, දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය කළ හැකි විශිෂ්ට බෙදාහැරීම් ජාලයක් නිර්මාණය කිරීමටත් බවර් සමාගම අවධානය යොමුකර ඇත.

    සමාගම සතුව දැනට පවත්නා සුහුරු පහසුකම් පද්ධතිය භාවිත කරමින්, සමස්ත වටිනාකම් දාම පද්ධතියේම පුළුල් ක්‍රියාකාරීත්වයක් වෙනුවෙන් බවර් සමාගම පියවර ගනිමින් සිටියි. එමෙන්ම predictive analytics සහ scenario planning ආදී නවතම තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රමෝපාය අනුගමනය කරමින් දත්ත මත පදනම්ව සිය බෙදාහැරීම් ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමට ද සමාගම සැලසුම් කර තිබේ.

    මෙම සමස්ත පරිවර්තනය සඳහා නායකත්වය ලබාදෙන්නේ බවර් සමාගමේ පාරිභෝගික ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, ඩැනියෙල් හෙස් මහතා ය. පසුගිය මාස 6ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ වාසය කළ ඒ මහතා, තිරසාර නව ව්‍යාපාර වර්ධනය මෙන්ම නව දිශානතීන් කරා ව්‍යාපාර පරිවර්තනය කිරීම පිළිබඳ විශේෂඥතාවක් උසුළයි.

    තම බෙදාහැරීම් ජාලය දෙගුණ කරමින්, ඉතා කෙටි කාලයක් තුළ වෙළඳසැල් 50,000ක් කරා ව්‍යාප්ත කිරීමේ බවර් සැලසුම මේ වනවිටත් ක්‍රියාවට නංවා තිබේ. තව ද, බෙදාහැරීම් නියෝජිතායතන ප්‍රමාණය දෙගුණ කිරීමත්, විශ්වාසනීය සහ ඉහළ ඉල්ලුමක් ඇති පාරිභෝගික භාණ්ඩ පිරිනමන දෙස් විදෙස් සමාගම් සමඟ ඇති සබඳතා ශක්තිමත් කරගැනීමත් බවර් සමාගමේ සෙසු ඉලක්ක අතර වේ.

    ඊට අමතරව සමාගමේ අපනයන හැකියාව වර්ධනය කරගැනීමටත්, විශේෂයෙන්ම යුරෝපා කලාපය තුළ පිහිටි වැදගත් වෙළෙඳපොළවල් ග්‍රහණය කරගැනීමටත් පාරිභෝගික ව්‍යාපාර අංශය විශාල ප්‍රයත්නයක් දරයි.

    පාරිභෝගික ව්‍යාපාර සහ දත්ත සම්බන්ධ කරමින් පාරිභෝගික ආකර්ෂණය දිනාගනිමින් අලෙවිය වැඩි කරගැනීම පිළිබඳ මනා පළපුරුද්දක් ඩැනියෙල් හෙස් මහතා සතු ය. ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර HWZ හිදී අලෙවිකරණය පිළිබඳ තම පළමු උපාධිය සම්පූර්ණ කර ඇති ඔහු, ජර්මනියේ බර්ලින්හි Steinbeis විශ්ව විද්‍යාලයෙන් අලෙවිකරණය සහ මාධ්‍ය කළමනාකරණ අංශය ඔස්සේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධිය ද හදාරා ඇත.

    බවර් සමාගමට එක්වීමට පෙර ඔහු මයික්‍රොසොෆ්ට්හි Xbox ව්‍යාපාර අංශයේ දශකයකට ආසන්න කාලයක් සේවය කළේය. අමෙරිකා එක්සත් ජනපදය, ජර්මන් භාෂාව භාවිත කරන යුරෝපීය ප්‍රදේශ සහ අග්නිදිග ආසියාතික කලාපය තුළ නව නිෂ්පාදන සහ ව්‍යාපාර එළිදැක්වීම් රැසක් සඳහා ඔහු මූලිකත්වය ගෙන තිබේ.

    මෑතකාලයේදී ඍජු පාරිභෝගික කේන්ද්‍රී ව්‍යාපාර සහ කණ්ඩායම් රැසක් සඳහා දත්ත පදනම් කරගත් ක්‍රියාකාරීත්ව මාදිලි හඳුන්වාදෙමින් සහ සාම්ප්‍රදායික ව්‍යාපාර ආකෘති වෙනස්කරමින් දැවැන්ත පරිවර්තන සිදුකිරීමට ඔහුට හැකිවී තිබේ.

     

    සේයා රුව: බවර් සමාගමේ පාරිභෝගික ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, ඩැනියෙල් හෙස් මහතා