ඩැරීන් වීරසිංහ සිංගප්පූරු ආරාධිත බර ඉසිලීමේ තරගාවලියේ රන් පදක්කම දිනා ගනී

    December, 4, 2015

    මෙරට බර ඉසිලීමේ දක්ෂතා ජාත්‍යන්තරව විදහා පාමින් යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) අනුග්‍රාහකත්වය දරන ඩැරීන් වීරසිංහ සිංගප්පූරු ආරාධිත බර ඉසිලීමේ තරගාවලියේදී (SPI15) කිලෝ ග්‍රෑම් 150 න් පහළ බර ඛාණ්ඩයේ රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වූයේය. සිංගප්පූරුවේ චංගි UE සම්මේලන මධ්‍යස්ථානයේදී අඛණ්ඩව දෙවැනි වරටත් ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේදී තරගකරුවන් 94 දෙනෙකු තරගවැදුණු අතර සියලුම බර සහ වයස් ඛාණ්ඩවල ලෝක වාර්තා රැසක් මෙහිදී බිඳ වැටීම විශේෂත්වයකි.

    ජාතික මට්ටමින් වර්ණ හිමි කර ගත් ක්‍රීඩකයන් හට SPI තරගාවලියට සහභාගී වීමේ වරම් හිමි වේ. ඩැරීන් ඇතුළුව සය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

    මුළුමනින්ම බර දරා ගැනීමේ හැකියාව මැන බලන ක්‍රීඩාවක්වන බර ඉසිලීමේ ක්‍රීඩාව ස්කොට්, බෙන්ච් ප්‍රෙස් සහ ඩෙඩ්ලිෆ්ට් යන ඛාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ. මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේද අතිශය තරගකාරී ඉසවුවක් වෙයි.

    ස්කොට් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 217 ක් ද, බෙන්ච් ප්‍රෙස් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 155 ක් ද, ඩෙඩ්ලිෆ්ට් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 245 ක් ද ලෙස විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ ඩැරීන් 2018 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ද සුදුසුකම් ලැබුවේය.

    කැපවීමෙන් යුතුව බර ඉසිලීමේ ක්‍රීඩාවේ නිරතවන ඩැරීන් 2010 වසරේ සිට මෙරට ජාතික මට්ටමේ රන් සහ රිදී පදක්කම් රැසකට හිමිකම් කියා ඇත. SPI තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ රන්සිළු ජයතිලක කිලෝ ග්‍රෑම් 120 බර ඛාණ්ඩයේ රන් පදක්කම ද, දීප්ත විදානපතිරණ කිලෝ ග්‍රෑම් 93 බර ඛාණ්ඩයේ රිදී පදක්කම ද දිනා ගත්හ.

    බර ඉසිලීමේ ක්‍රීඩාවට මෙන්ම මෝටර් රථ ධාවනයට ද එකසේ සමත්කම් දක්වන ඩැරීන් මෙරට මෝටර් රථ ධාවන ඉසවුවල වාර්තා රැසකට හිමිකම් කියන ධාවන ශූරයෙකි. ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා හා ධාවකයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ කටුකුරුන්දේ පැවති රොදර්හැම් තරගාවලියේදී ද ඩැරීන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වූයේය.