ණයවල පොලිය ගැන චීනයෙන් අපේ මුදල් අමාත්‍යංශයට උත්තරයක්

    April, 27, 2015

    චීන ණයවල පොලී අනුපාතය ඉතාමත් ඉහළ යැයි මෙරට මුදල් අමාත්‍යංශයේ උසස්ම පුද්ගලයෙකු චෝදනා කළත් චීන ණයවල පොලී අනුපාතය ඉහළ නැතැයි මෙම චෝදනාවට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ (CCCSL) ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

    පසුගිය වසර 10 කාලය තුළදී චීනය විසින් ලංකාවට ඩොලර් බිලියන ගණනක ණය ලබාදී තිබෙන බවත් මෙම ණය වලින් අඩකට වඩා සියයට 02 ක පොලී අනුපාතයකට ලබාදී තිබෙන බවත් සඳහන්ය.

    ලෝක වෙළඳ පොළේ බොහෝ වාණිජ ණය වලට සාපේක්ෂව චීන වාණිජ ණයවල පොලී අනුපාතය අඩු බවත් පසුගිය රජය විසින් දේශීය බැංකු වලින් ලබාගෙන ඇති ණයවල පොලී අනුපාත සමග සැසඳීමේදී චීනය ලබාදී තිබෙන ණයවල පොලී අනුපාත අඩුබව මෙම ප්‍රකාශකවරයා Xinhua මාධ්‍ය ආයතනයට සඳහන් කර ඇත.

    ශ්‍රී ලංකාව විසින් චීන බැංකු වලින් ණය ලබාගැනීමේදී චීනයේ කිසිදු පාර්ශවයක් හෝ පුද්ගලයෙකු ඒ සඳහා බලකිරීමක් නොකළ බවත් ලංකාව එම ණය ලබාගත්තේ ඉහළ සමීක්ෂණ වලින් පසුව බවත් මෙම මාධ්‍ය වාර්තාවේ දැක්වේ. මෙම ණය සඳහා එකඟතාවයන්ට පැමිණීමේදී ලංකාව පාර්ශවයෙන් ඉහළ වෘත්තීයත්වයක් දැක්වූ බවත් ශ්‍රී ලංකාවට පක්ෂපාතී අන්දමට ක්‍රියාකළ බවත් චීන ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

    සමහර ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ලබාදෙන ණයවල පොලී අනුපාත ඉතාමත් පහළ යැයි මූල්‍ය විශේෂඥයින් සඳහන් කළත් දියුණු වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධනයට අවශ්‍ය හදිසි යටිතල පහසුකම් ගොඩනැගීමට ප්‍රමාණවත් තරම් මුදල් මෙම ආයතන තුළින් නොලැබෙන බව චීන වාණිජ මණ්ඩල ප්‍රකාශකවරයාගේ අදහසයි. මෙවැනි ණය මගින් පසුගිය කාලයේදී ලංකාව ඇතුළු දියුණු වෙමින් පවතින රටවල යටිතල පහසුකම් ගොඩනැගීමට අවස්ථාව ලැබුණු බව සඳහන්ය.

    චීන ණයවල පොලී අනුපාතය ඉහළ යැයි මෙරට මුදල් අමාත්‍යංශයේ ඇතැම් ඉහළ පුද්ගලයින් විසින් කරන චෝදනා හේතුවෙන් ලංකාව කෙරෙහි චීන බැංකු තුළ තිබෙන විශ්වාසය බිඳ වැටීමටත් ඔවුන් අධෛර්යමත් වීමටත් හේතුවනු ඇතැයි මෙම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.