• Ada Derana BIZ Sinhala
  • debt restructuring
  • JICA
  • sri lanka

ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වනතුරු ජයිකා ආධාර නැහැ

October, 20, 2022

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණය කර අවසන් වන තෙක් ජයිකා සංවිධානය විසින් ලබා දුන් ණය මත මෙරට තුළ ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති 12 ක වැඩකටයුතු තාවකාලිකව නතර කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී බුද්ධික පතිරණ අමාත්‍යවරයා විසින් වාචික පිලිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඔහු මේ පිළිබඳව ජයිකා සංවිධානය සමඟ සාකච්ඡා කළ බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූවායින් පසු දැනට නවතා දමා ඇති සියළු ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට හැකියාව ඇති බවට එම සංවිධානය විසින් පවසා සිටි බවත්ය.

"කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි පර්යන්තය අපි ආරම්භ කළේ ජයිකා සංවිධානය මගින් ලබා දෙන ලද ණය මත. ඒ වැඩපිලිවෙල ක්‍රියාත්මක කර ගෙන එනකොට ඔබ දන්නවා අපි, ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කළා. ඒ ප්‍රකාශයට පත් කළ වහාම ජයිකා සංවිධානය තමන්ගේ Projects, මේක විතරක් නෙවෙයි අපේ 12ක් තිබුණා ලංකාවේ, මේ 12ම suspended කළා. මේක තාවකාලිකව නතර කළා ණය ප්‍රතිව්‍යූහගත කරලා ඉවර වෙනකන්. මම ජයිකා සංවිධානය සමඟ විශේෂ සාකච්ඡා ගණනාවක් පැවැත්වූවා. ඔවුන් කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූවායින් පසු නැවත මේවා පටන් ගන්න පුළුවන්. නමුත් ණය ප්‍රතිව්‍යූහගත කරන්නේ නැතුව, අපට ණය ගෙවීමට තියන හැකියාව පිළිබඳව ඒ ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් සහතිකයක් දෙන්නේ නැතුව ඔවුන්ට දිගටම ණය දෙන්න පුළුවන්කමක් නැහැ කියන කාරණය."