ණය පොලී 13%න් පහළට

    December, 12, 2023

    මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 12.79% ක් දක්වා පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ පූර්ව සතියේ දී එම අනුපාතිකය 13.03% ක් ලෙසින් පැවති බවයි. මීට වසරකට පෙර මෙම අනුපාතිකය 28.51% ක් තරම් ඉහළ අගයයක් විය.

    මේ අනුව බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයන් 13% මට්ටමෙන් මෙපිටට පැමිණ ඇති බව අදාල වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

    එහිදී මහජන බැංකුව - 12.59%, කොමර්ෂල් බැංකුව - 12.95%, යූනියන් බැංකුව - 12.77% හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - 12.90% ලෙසින් 13% සීමාවට මෙපිටින් බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයන් පවත්වාගෙන ගිය දේශීය වානිජ බැංකු ලෙසින් දක්වා ඇත.

    මේ අතර මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර වානිජ බැංකුවක් වන HSBC බැංකුවේ මෙම අනුපාතිකය 11.41% ක් තරම් පහළ අගයක් විය. මීට අමතරව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව - 12.95%, සිටි බැංකුව - 12.75%, ඉන්දීය රාජ්‍ය බැංකුව - 12.14% හා පබ්ලික් බැංකුව 12.55% ක් ලෙසින් පහළ බරිත සාමාන්‍ය පුමුඛ ණය අනුපාතිකයන් පවත්වාගෙන ගිය සෙසු විදේශීය බැංකු වේ.