තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතිය අද සිට

    July, 14, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

    මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමී ව තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳ ව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන් ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳ ව පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කය වේ.

    මෙම වැඩසටහන මගින්, පාසල් සිසුන් සහ ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, රාජ්‍ය අංශයේ සේවකයන් ජාතික වශයෙන් දැනුම්වත් කිරීම අපේක්ෂා කෙරේ.

    ඒ අනුව බිම් මට්ටමේ පුළුල් ආවරණයක් සහිත ව ප්‍රජා සහභාගීත්වය සහතික කරමින් මෙමගින් දිවයින පුරා පාසල් 6,172ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022ක් ඔස්සේ ප්‍රධාන වශයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

    තහනම් පිරමිඩ යෝජනා ක්‍රමවලට අදාළ නීතිමය ප්‍රතිපාදන, එවැනි ව්‍යාපාරවල ආකෘතියේ පවතින වංචනික ස්වභාවය හා ව්‍යුහය, පිරමිඩ යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමේ අවදානම් හා මූල්‍යමය ප්‍රතිවිපාක සහ වින්දිතයන්ගේ සත්‍ය ජීවන පුවත් හා වේදනාකාරී අත්දැකීම් යනාදිය පිළිබඳ ව මෙම සතිය පුරාම සහභාගිවන්නන් දැනුම්වත් කිරීම සිදු කරනු ලබයි.

    මෙහිදී, පුළුල් හා ඵලදායී ප්‍රජා සහභාගීත්වයක් සහතික කිරීම උදෙසා බහු මාධ්‍ය ප්‍රචාරණ උපායමාර්ග භාවිත කරමින් දීපව්‍යාප්ත ව පවත්වනු ලබන මෙම වැඩසටහන පුවත්පත් දැන්වීම්, සමාජ මාධ්‍ය ප්‍රචාරණ වැඩසටහන්, අධ්‍යාපනික පෝස්ටර, සජීවී සංවාද මණ්ඩප, රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන්, ප්‍රවෘත්ති ප්‍රචාරක පාඨ සහ මහජන සැසි යනාදී ක්‍රම ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මූල්‍ය වංචාවලින් තමා මෙන් ම අන්‍යයන් ආරක්ෂා කර ගැනීමටත්, මූල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වසනීයත්වය සහතික කිරීමටත්, දැනුම්වත්භාවය සහ විමසිලිමත්භාවය අත්‍යවශ්‍ය වේ. එමනිසා මෙම වැඩසටහන සමග සක්‍රීය ව සහභාගී වී දැනුම්වත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. වැඩිදුර තොරතුරු සහ යාවත්කාලීන කිරීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න; නැතහොත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මහ බැංකුව හා සම්බන්ධ වන්න.