තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සංයුක්ත හා තිරසර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගය ක්‍රියාවට නංවන්න කැබිනට් අනුමැතිය

    February, 6, 2024

    හරිත ව්‍යාපාර සහ අවදානමට ලක් විය හැකි ප්‍රජාවන් සවිබල ගන්වන සමාජ ව්‍යවසායයන් ඇතුළුව ධනාත්මක සමාජීය හා පාරිසරික බලපෑම් ඇති කරන වාණිජමය වශයෙන් ශක්‍යතාවයෙන් යුත් ආකෘති සහිත අරමුණු මත පදනම් වූ ව්‍යවසායයන් සංයුක්ත හා තිරසර ව්‍යාපාර (Inclusive and Sustainable Businesses - ISBs) වශයෙන් හඳුන්වනු ලබයි.
    ශ්‍රී ලංකාව තුළ දැනට පවතින සංයුක්ත හා තිරසර ව්‍යාපාර (ISBs) සඳහා ප්‍රමාණවත් තොරතුරු, නිපුණතා පුහුණුව, හවුල්කාරිත්වය, මූල්‍ය පහසුකම් සහ විධිමත් පිළිගැනීම යනාදිය සඳහා ප්‍රවේශයක් නොමැති වීම හේතුවෙන් එකී ව්‍යාපාරයන්හි වර්ධනය සහ එමඟින් කෙරෙන ධනාත්මක බලපෑම සීමා වීමට හේතු වී ඇත.
    එබැවින්, සංයුක්ත හා තිරසර ව්‍යාපාර (ISBs) සංවර්ධනයට සහායවීමේදී සහ පහසුකම් සැලසීමේදී ජාතික ව්‍යාපාර, කර්මාන්ත, මූල්‍ය හා ආයෝජනයන්ට අදාළ වන රජයේ ප්‍රතිපත්තිවලට සංයුක්ත හා තිරසර ව්‍යාපාර (ISBs) ප්‍රවර්ධනය කිරීමට අදාළ වන විධිවිධාන ඒකාබද්ධ කිරීම පිණිස විශේෂිත උපායමාර්ගවල අවශ්‍යතාව පැන නැගී ඇත.
    ඒ අනුව, ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාව විසින් ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිසමේ (UNESCAP) වෙළෙඳ, ආයෝජන සහ නවෝත්පාදන අංශයේ සහාය ඇතිව අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගෙන "තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සංයුක්ත හා තිරසර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගය" සකස් කරනු ලැබ තිබේ.
    එකී උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.