තෙල් ගවේෂණය ඇමති චම්පික යටතට. කෙයාන් ගිවිසුම හෙළි වෙයිද?

    January, 16, 2015

    පසුගිය රජයේදී ජනාධිපතිවරයා යටතේ තිබූ මෙරට තෙල් ගවේෂණ කටයුතුවල වගකීම දරන ඛනිජ සම්පත් සංවර්ධන කාර්යංශය (Petroleum Resources Development Secretariat-PRDS) නව රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

    මේ අනුව, මෙරට ඛනිජ තෙල් ගවේෂණ කටයුතු පිළිබඳ වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යටතට පත්ව ඇත.

    චම්පික රණවක මහතා පසුගියදා චෝදනා කළේ මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණ කටයුතු වලදී අක්‍රමිකතා සිදුවී තිබෙන බවත් තෙල් ගවේෂණය සඳහා පිවිසුණු බ්‍රිතාන්‍යය කෙයාන් සමාගම ලංකාවේ තෙල් සම්පත පෙන්වා ඩොලර් බිලියන 7.1 ක ලාභයක් ඉපැයීමට කටයුතු කර තිබෙන බවයි.

    කෙයාන් සමාගමේ අයිතිකරුවන් විසින් ලංකාවේ ගෑස් තිබෙන බවට ප්‍රචාරය කර සමාගමේ කොටස් වලින් සියයට 90 ක් පමණම විකුණා දැමූ බවත් මේ තුළින් ලංකාවට ලැබීමට තිබූ දැවැන්ත මුදලක් අහිමි වී ගිය බවත් රණවක මහතා එහිදී සඳහන් කර තිබුණි.

    ලංකාවේ රජයට නොදන්වා මේ ආකාරයෙන් මෙම සමාගමේ කොටස් විකිණීම වැරදි බවත් කෙයාන් සමාගම සහ ලංකාව අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම අද වනතුරුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවටත් රණවක මහතා චෝදනා කර ඇත.

    මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ඇතැයි සොයාගෙන තිබෙන බිම් කඩ කොටස් 08 කට බෙදා මින් එක් කොටසක් ඉන්දියාවටත් තවත් කොටසක් චීනයටත් ලබාදීමට පසුගිය රජය ක්‍රියාකර තිබුණි.