දකුණු අධිවේගියේ ඊළඟ පිම්මටත් සූදානම්

    September, 17, 2014

    දකුණු අධිවේගී මාර්ගයේ සිව්වන අදියර ඉදිකිරීම සඳහා චීනය විසින් ණය ලබාදීමට එකඟ වී තිබේ.

    මේ අනුව, දකුණු අධිවේගී මාර්ගයේ සිව්වන අදියර වන මත්තල සිට හම්බන්තොට දක්වා කොටස ඉදිකිරීම සඳහා චීන ණය ලබාගැනීමේ ගිවිසුමට මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ චීන ආනයන-අපනයන බැංකුවේ සභාපති Li Ruogu මහතා විසින් කොළඹදී අත්සන් තැබීය.

    මාර්ගයේ මෙම කොටස ඉදිකරන්නේ අන්දරවැව හරහායි.

    දකුණු අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිවූයේ කොට්ටාවේ සිට ගාල්ල පින්නදූව දක්වා වන අතර දෙවන අදියර ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා ඉදිකර පසුගිය මාර්තු මාසයේදී විවෘත කරන ලදී.

    තෙවන අදියර ඉදිවන්නේ මාතර ගොඩගම සිට මත්තල ගුවන් තොටුපොළ දක්වායි.

    දකුණු අධිවේගී මාර්ගය කොට්ටාවේදී පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ වන අතර පිටත වටරවුම් මාර්ගය කෙරවලපිටියේදී කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබේ.