දශකයක් පසුපසට ගිය නේපාලයට වූ ආර්ථික විනාශයේ තරම මෙන්න!

    April, 27, 2015

    ඉතාමත් අවාසනාවන්ත ලෙස පුද්ගලයින් 4000 කට පමණ මරු කැඳවූ නේපාල භූමි කම්පාව නිසා විනාශ වූ ඉදිකිරීම් නැවතත් සිදු කිරීමට ඩොලර් බිලියන 05 ක පමණ අති දැවැන්ත මුදලක් වැයවෙනු ඇතැයි ගණන් බලා තිබෙන බව වාර්තා වේ.

    වසරකදී නේපාලයේ ආර්ථික ක්‍රියාකාරකම්වල වටිනාකම ඩොලර් බිලියන 20 ක් පමණ වන අතර මෙය ලෝකයේ කුඩාම ආර්ථිකයන් සහිත රට වලින් එකක් ලෙස සැලකේ.

    දුප්පත්කම ඉහවහා ගොස් තිබෙන නේපාලයට සිදුවූ මෙම විපත ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි ඛේදනීය සිදුවීමකි.

    නේපාලයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය සැලකිය හැකි අතර මෙම අංශයේ සේවයේ නියුතු ප්‍රමාණය ආසන්න වශයෙන් 1,38,000 ක් පමණ වේ.

    එරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් ඉන්දියාවෙන් සහ චීනයෙන් පැමිණෙන අතර 2013 වසරේදී නේපාලයට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 800,000 කට ආසන්නය.

    නේපාලයේ වැඩිම සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථාන ලෙස සැලකෙන්නේ පන්සල්ය.

    එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා විදේශිකයෙකු නේපාල සංචාරක සමාගමකට සාමාන්‍යයෙන් ඩොලර් 100,000 ක පමණ ගාස්තුවක් ගෙවිය යුතුබව සඳහන්ය.

    මෙම භූමි කම්පාව නිසා එවරස්ට් කඳු තරණය කළ බොහෝ පිරිසක් මියගොස් තිබෙන අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇත. මෙවැනි තත්ත්වයක් තුළ එරට සංචාරක කර්මාන්තය බොහෝ කලකට යළිත් අවදි නොවනු ඇතැයි සිතිය හැකිය.

    නේපාලයේ සියයට 70 ක පමණ පිරිසක් ජීවිකාව ගැට ගසාගන්නේ කෘෂි කර්මාන්තයෙන් වන අතර රට තුළ තිබෙන ජල සම්පත ආර්ථික වශයෙන් ඉහළ සම්පතක් බව ආර්ථික විද්‍යාඥයින් සඳහන් කර තිබේ.

    මේ නිසා, නේපාලයට අනාගතයේදී ජල විදුලිය ඉන්දියාවට සහ චීනයට අපනයනය කළ හැකියැයි ඔවුන් සඳහන් කර ඇත.